29.3 C
Galle

මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි

Published:

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ටැක්සි සහ ත්‍රිරෝද රථ රියැදුරන්ට මරාති භාෂාව ඉගෙන ගැනීම සඳහා තවත් වසරක කාලයක් ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

රියැදුරන්ට මරාති භාෂාවෙන් මගීන් සමඟ මූලික සංවාදයක් පැවැත්විය හැකිදැයි පරීක්ෂා කිරීම අගෝස්තු 20 වැනිදා ආරම්භ කළ අතර, එම පරීක්ෂණය අසමත් වූ රියැදුරන්ගේ බලපත්‍ර අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට හැකි බව ප්‍රකාශ වීමත් සමඟ රියැදුරු සංගම්වලින් දැඩි විරෝධයක් එල්ල විය.

විශේෂයෙන් වෙනත් ප්‍රාන්තවලින් රැකියා සොයා මහාරාෂ්ට්‍රයට පැමිණි රියැදුරන් පැවසුවේ භාෂාව ඉගෙන ගන්නා අතරතුර තම ජීවනෝපාය අහිමි වීමේ අවදානමක් ඇති බවයි.

ඒ අනුව මහාරාෂ්ට්‍ර ප්‍රධාන අමාත්‍ය දේවේන්ද්‍ර ෆඩ්නවිස් රියැදුරන්ට තවත් වසරක කාලයක් ලබාදීමට තීරණය කර ඇති අතර, එම කාලයෙන් පසුව තවත් දිගුවක් ලබා නොදෙන බව ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යවරයා පවසා තිබේ.

මහාරාෂ්ට්‍ර රජය පවසන්නේ රියැදුරන්ට මරාති කියවීමට හෝ ලිවීමට හෝ චතුර ලෙස කතා කිරීමට අවශ්‍ය නොවන බවත්, මගීන් සමඟ මූලික සන්නිවේදනය කරගත හැකි දැනුමක් පමණක් ප්‍රමාණවත් බවත්ය.

මේ වනවිට රියැදුරන් 166,000කට ආසන්න පිරිසක් මරාති පුහුණුව ලබා වාචික පරීක්ෂණය සමත් වී තිබේ.

කෙසේ වෙතත්, මෙම සිදුවීම භාෂාව ඉගෙනීමේ ප්‍රශ්නයකට වඩා විශාල දේශපාලන හා සමාජ ගැටලුවක් බව විචාරකයෝ පෙන්වා දෙති. මහාරාෂ්ට්‍රයේ දශක ගණනාවක් තිස්සේ භාෂාව, සංක්‍රමණය සහ රැකියා අවස්ථා පිළිබඳ විවාදය දේශපාලනය සමඟ බැඳී පවතී.

රියැදුරු ලක්ෂාන් පාණ්ඩේ පවසන්නේ තමන් මරාති ඉගෙනීමට විරුද්ධ නොවන බවයි.

“අපි මෙහි ජීවත් වෙනවා. මෙහි වැඩ කරනවා. මරාති ඉගෙන ගත යුතුයි. අපට අවශ්‍ය වුණේ ඒ සඳහා කාලය පමණයි” යනුවෙන් ඔහු පවසයි.

Related articles

spot_img
error: Content is protected !!