27.3 C
Galle

පළාත් සභා මැතිවරණයට සල්ලි තියෙනවා, ප්‍රශ්නය නීතියයි

Published:

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය සතුව පවතින බවත් මැතිවරණය කල් යාමට හේතුවී ඇත්තේ මුදල් ප්‍රශ්නයක් නොව නීතිමය ප්‍රතිපාදනවල පවතින ගැටලුවක් බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මේ වසරේ මුදල් නොමැති බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ වත්මන් රජය මාස 8ක් තුළ මැතිවරණ දෙකක් සාර්ථකව පැවැත්වූ ආණ්ඩුවක් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කරමින් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම රජයේ ද බලාපොරොත්තුව බවත්, මේ වන විට පාර්ලිමේන්තු කාරක සභාවක් මඟින් අදාළ නීතිමය ගැටලු නිරාකරණය කරමින් පවතින බැවින් එම ප්‍රතිපාදන සැලසුණු වහාම මැතිවරණය පැවැත්වීමට හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

පරණ ක්‍රමයට ඡන්දය තියන්න විපක්ෂයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

මේ අතර, පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සහ ඊට අදාළ මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් ද අද (26) කොළඹදී පැවැත්විණි. නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාමාර්ගය (CMEV) සංවිධානයේ මූලිකත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන 42ක් එක්ව සිටියහ.

මෙහිදී සාකච්ඡාවට සහභාගී වූ පාර්ශවයන්ගෙන් එක් පක්ෂයක් හැර අනෙකුත් සියලුම පාර්ශව ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා ඇති අතර, එම ප්‍රකාශය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහ ආණ්ඩු පක්ෂයට යොමු කිරීමට තීරණය වී තිබේ.

එම ඒකාබද්ධ ප්‍රකාශය මඟින් යෝජනා කර ඇත්තේ 2017 අංක 17 දරණ පනතට පෙර පැවැති පැරණි මැතිවරණ ක්‍රමය යටතේ දැනට කල් දමා ඇති පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවයි. එමෙන්ම ස්වේච්ඡා පදනමක් මත කාන්තා සහ තරුණ නියෝජනය සියයට 25ක් දක්වා සහතික කිරීමට ද මෙහිදී පක්ෂ එකඟතාව පළ කර ඇත.

ආණ්ඩු විපක්ෂ ප්‍රධානීන් එකම මේසයක

මෙම සුවිශේෂී සාකච්ඡාව සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ජාතික ජන බලවේගයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සහභාගී වූ අතර, පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිව්දෙනා ද ඊට එක්ව සිටියහ.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂයේ නියෝජිතයින් ඇතුළු මනෝ ගනේෂන්, සී වී විග්නේෂ්වරන් සහ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related articles

spot_img
error: Content is protected !!