අමෙරිකානු අභ්‍යවකාශ ආයතනය නාසා (NASA) 2032 වසර වන විට සඳ මත අර්ධ ස්ථිර මිනිස් ජනාවාසයක් (Semi-permanent Moon Base) ඉදිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන දැවැන්ත වැඩසටහනක නව තොරතුරු අනාවරණය කර තිබෙනවා.
මෙම වැඩසටහන යටතේ සඳ මත ගොඩබැස්වීමට නියමිත රොබෝ යානා, පනින ඩ්‍රෝන යානා සහ ගවේෂණ වාහන පිළිබඳ තොරතුරු නාසා ආයතනය විසින් ප්‍රකාශයට පත් කළ අතර, ඒවා නිර්මාණය කිරීම සඳහා ජෙෆ් බෙසෝස්ගේ “බ්ලූ ඔරිජින්” (Blue Origin) ඇතුළු පෞද්ගලික සමාගම් කිහිපයක් තෝරාගෙන තිබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලය අවසන් වීමට පෙර, එනම් 2029ට පෙර නැවතත් අමෙරිකානුවන් සඳ මත ගොඩබැස්වීම නාසා ආයතනයේ ප්‍රධාන ඉලක්කයක් වී තිබෙනවා. කෙසේ වෙතත්, 2030 වන විට මිනිසුන් සඳ මත ගොඩබැස්වීමේ සැලැස්මක් සමඟ චීනයද ඉදිරියට පැමිණීම හේතුවෙන්, නව අභ්‍යවකාශ තරගයක උණුසුම මේ වන විටත් දැඩි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය මාර්තු මාසයේදී නාසා ආයතනය සඳෙහි දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයේ න්‍යෂ්ටික සහ සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක ස්ථිර මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 20ක ව්‍යාපෘතියක් ප්‍රකාශයට පත් කළා.
නාසා පරිපාලක ජැරඩ් අයිසැක්මන් සඳහන් කළේ, “අමෙරිකාව නැවත කිසිදා සඳ අත්හරින්නේ නැහැ” යනුවෙනි.
විද්‍යාත්මක පර්යේෂණ, වටිනා සම්පත් කැණීම් සහ අනාගත අඟහරු ගමන් සඳහා පහසුකම් සැලසීම මෙම සඳ ජනාවාසයේ අරමුණු අතරට ඇතුළත් වෙනවා.
නාසාගේ “Ignition Moon Base” වැඩසටහන අදියර තුනකින් ක්‍රියාත්මක වන බව සඳහන්. මිනිසුන් යැවීමට පෙර රොබෝ ගවේෂණ යානා සහ පනින ඩ්‍රෝන යොදාගෙන සඳෙහි භූමිය සිතියම්ගත කිරීම සහ පර්යේෂණ කිරීම සිදු කෙරෙනවා.
එමෙන්ම ගගනගාමීන්ට සඳ මතුපිට දිගු දුර ගමන් කළ හැකි වාහන සහ විද්‍යාත්මක උපකරණ ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ යානාද යොදා ගැනීමට නියමිතයි.
නාසා ආයතනය පවසන්නේ 2029 වන විට ගුවන්ගත කිරීම් 25ක් හරහා ටොන් 4කට ආසන්න භාණ්ඩ ප්‍රමාණයක් සඳ මතට රැගෙන යාමේ සැලැස්මක් පවතින බවයි.
“බ්ලූ ඔරිජින්” සමාගමේ “Endurance” යානයට ඉතා නිවැරදිව සඳ මත ගොඩබැස්වීමේ හැකියාව තිබිය යුතු අතර, ස්වයංක්‍රීය නාවිකරණ පද්ධතිද එයට ඇතුළත් කිරීමට නියමිතයි. “Astrobotic” සමාගමේ “Griffin-1” යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවය අසල පිහිටි Nobile ආවාටය වෙත යැවීමට සැලසුම් කර තිබෙනවා.
සඳෙහි දක්ෂිණ ධ්‍රැවය විශේෂ අවධානයට ලක්ව ඇත්තේ එහි ඇති ශීත කළ ජලය පානීය ජලය සහ ඔක්සිජන් නිෂ්පාදනය සඳහා භාවිත කළ හැකි බවට විශ්වාස කරන නිසයි.
කෙසේ වෙතත්, මෙම දැවැන්ත සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා මිනිසුන් ආරක්ෂිතව සඳ මත ගොඩබැස්විය හැකි යානයක් අත්‍යවශ්‍ය වනවා. එම කාර්යය සඳහා ඉලෝන් මස්ක්ගේ “SpaceX” සමාගම “Starship Human Landing System” යානය සංවර්ධනය කරමින් සිටියද, එය මේ වන විටත් ප්‍රමාදයන් සහ අසාර්ථක පරීක්ෂණ රැසකට මුහුණ දී තිබෙනවා.
විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ නාසා ආයතනයේ කාලසටහන ඉතා අභියෝගාත්මක බවයි. “Open University” හි සඳ විද්‍යාඥ ආචාර්ය සිමියොන් බාබර් පවසන්නේ, “චීනය මුලින්ම සඳ මත මිනිසුන් ගොඩබස්වුවහොත් මට පුදුමයක් නැහැ” යනුවෙනි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, නාසා ආයතනය දේශපාලනික පීඩනයක් යටතේ තම සැලසුම් ඉක්මනින් ප්‍රකාශයට පත් කරමින් සිටින බවට හැඟෙන බවයි.



