27.3 C
Galle

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වායු කාන්දුවක්, ගගනගාමීන් හදිසි ඉවත්කිරීම් යානයට!

Published:

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) රුසියානු කොටසේ පවතින සිදුරක් (Crack) අලුත්වැඩියා කිරීමට ගගනගාමීන් දැරූ උත්සාහයක් අතරතුර, එහි වායු කාන්දු වීම් වේගය හදිසියේම ඉහළ යාම හේතුවෙන් එහි සිටි ගගනගාමීන් පස් දෙනෙකුට වහාම ආරක්ෂිත පියවරක් ලෙස හදිසි ඉවත්කිරීම් යානා (Evacuation Spacecraft) වෙත ඇතුළු වන ලෙස නාසා (NASA) ආයතනය නියෝග කර තිබේ. මේ හේතුවෙන් ගගනගාමීන්ට පැය දෙකකට ආසන්න කාලයක් අභ්‍යවකාශ යානය තුළ රැඳී සිටීමට සිදු විය.

ඇමෙරිකානු වේලාවෙන් සිකුරාදා පෙරවරු 9:04 ට නාසා පාලන මධ්‍යස්ථානය විසින් මෙම හදිසි නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව, මධ්‍යස්ථානයට සම්බන්ධ කර තිබූ SpaceX සමාගමේ ‘Crew Dragon’ යානය වෙත නාසා හි Crew-12 මෙහෙයුමට අයත් ගගනගාමීන් සිව්දෙනා (ඇමෙරිකානුවන් දෙදෙනෙක්, ප්‍රංශ ජාතිකයෙක් සහ රුසියානු ගගනගාමියෙක්) ඇතුළු වී තිබේ. කෙසේ වෙතත්, වායු කාන්දු වීමේ වේගය පිළිබඳව නාසා සහ රුසියානු බලධාරීන් සිදුකළ පරික්ෂාවකින් පසු, අනතුරක් නොමැති බව තහවුරු වීම නිසා පැය දෙකකට පසු එම නියෝගය අවලංගු කර ගගනගාමීන්ට නැවත අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යාමට අවසර දෙන ලදී.

රුසියානු සහ ඇමෙරිකානු බලධාරීන් අතර මතභේදය

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මෙහෙයුම්කරුවන් වන නාසා සහ රුසියාවේ ‘රොස්කොස්මෝස්’ (Roscosmos) ආයතන, මධ්‍යස්ථානයේ රුසියානු කොටසට අයත් ‘Zvezda’ සේවා මොඩියුලයේ පවතින මෙම කුඩා වායු කාන්දුවීම් සම්බන්ධයෙන් මාස කිහිපයක සිට සාකච්ඡා කරමින් සිට ඇත.

පසුගිය මාස කිහිපය පුරාම දිනකට වාතය රාත්තලක් (1 pound) බැගින් ඉතා සුළුවෙන් කාන්දු වූ මෙම සිදුරෙන්, සිකුරාදා දිනයේදී දිනකට වායු රාත්තල් දෙකක් (2 pounds) දක්වා කාන්දු වීමේ වේගය දෙගුණ වී ඇති බව නාසා උසස් නිලධාරියෙක් හෙළි කළේය.

මෙම අවස්ථාවේදී රුසියානු ගගනගාමීන් දෙදෙනෙකු වන සර්ජි කුඩ්-ස්වර්ච්කොව් (Sergey Kud-Sverchkov) සහ සර්ජි මිකායෙව් (Sergei Mikayev) විසින් කියතක් (Saw) භාවිත කර අදාළ සිදුර පවතින ප්‍රදේශය කපා විවෘත කිරීමට සැලසුම් කර ඇත. නමුත්, නාසා ආයතනය එම අනාරක්ෂිත ක්‍රමවේදයට දැඩි ලෙස විරුද්ධ වීම හේතුවෙන් හූස්ටන් පාලන මධ්‍යස්ථානය විසින් වහාම ගගනගාමීන්ට ආරක්ෂිත ස්ථාන කරා (Safe-haven) යන ලෙස නියෝග කර තිබේ.

රුසියාවේ ප්‍රකාශය සහ වත්මන් තත්ත්වය

රුසියාවේ රොස්කොස්මෝස් ආයතනය ප්‍රකාශ කළේ, අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වායු කාන්දු දෙකක් හඳුනාගත් බවත් ඉන් පළමුවැන්න වහාම සීල් තැබූ බවත්ය. දෙවැනි සිදුර ද වසා දැමීමට කටයුතු සූදානම් කරමින් පවතින අතර, කාර්ය මණ්ඩලයට හෝ යානයේ පද්ධතිවලට ඉන් කිසිදු ක්ෂණික තර්ජනයක් නොමැති බව ඔවුන් අවධාරණය කළේය.

රුසියානු පාර්ශවය එම සිදුර අලුත්වැඩියා කිරීමේ උත්සාහය තාවකාලිකව නතර කිරීමෙන් පසුව, නාසා ආයතනය සිය හදිසි ඉවත්කිරීමේ නියෝගය ඉල්ලා අස්කර ගත්තේය. “මෙම වායු කාන්දුවීම් සම්බන්ධයෙන් රුසියාව සමඟ එක්ව සාමූහික ප්‍රවේශයකින් කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා,” යැයි නාසා ප්‍රකාශක බෙතානි ස්ටීවන්ස් (Bethany Stevens) පැවසුවාය.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වසර 27ක ඉතිහාසය තුළ මෙවැනි හදිසි ආරක්ෂිත නියෝග (Safe-haven orders) නිකුත් කරන්නේ ඉතා කලාතුරකිනි. සාමාන්‍යයෙන් අභ්‍යවකාශ සුන්බුන් (Space debris) මධ්‍යස්ථානයේ ගැටීමේ අවදානමක් පවතින විට මෙවැනි පියවරක් ගන්නා අතර, මධ්‍යස්ථානයේ ඉතිහාසය පුරා කිසිදු අවස්ථාවක ගගනගාමීන්ට එය සම්පූර්ණයෙන්ම අත්හැර දමා පෘථිවියට ඒමට (Evacuate) සිදුවී නොමැත.

Related articles

spot_img
error: Content is protected !!