ආටෙමිස් II මෙහෙයුමේ නිරත ගගනගාමීන් හතර දෙනා අද (06) රාත්‍රියේ සිය මෙහෙයුමේ වඩාත් සංවේදී සහ හුදකලාම අවස්ථාවට මුහුණ දීමට සූදානම් වේ. ඒ අනුව මෙරට වේලාවෙන් හෙට අලුයම 4:17 ට (BST 23:47) පමණ ‘ඔරායන්’ යානය සඳේ අඳුරු පැත්තට (Far side of the Moon) පිවිසෙනු ඇත.
සන්නිවේදනය බිඳ වැටෙන මොහොත යානය සඳුට පිටුපසින් ගමන් කරන අවස්ථාවේදී, සඳෙහි දැවැන්ත ස්කන්ධය මගින් පෘථිවිය සහ යානය අතර පවතින රේඩියෝ සහ ලේසර් සන්නිවේදන සංඥා අවහිර කරනු ලබයි. මෙහිදී පෘථිවියේ සිට කිලෝමීටර් ලක්ෂ ගණනක් ඈතින් සිටින මෙම ගගනගාමීන් හතර දෙනාට මිනිත්තු 40ක පමණ කාලයක් පෘථිවිය සමඟ පවතින සියලු සබඳතා අහිමි වනු ඇත. ඔවුන් එම කාලය ගත කරනුයේ විශ්වයේ දැවැන්ත අඳුර සහ නිහඬතාවය සමඟ පමණි.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දැක්වූ මෙහෙයුමේ නියමුවා වන වික්ටර් ග්ලෝවර් පවසන්නේ, පෘථිවිය සමඟ සබඳතා බිඳී යන එම කෙටි කාලය ලෝකවාසී සැමට තමන් වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කිරීමට සහ යාච්ඤා කිරීමට ලැබෙන අවස්ථාවක් කර ගන්නා ලෙසයි.
ඇපලෝ මතකයන් අලුත් වීම මීට වසර 50කට පෙර ඇපලෝ 11 මෙහෙයුමේදී මයිකල් කොලින්ස් ද මෙවැනිම අත්දැකීමකට මුහුණ දුන්නේය. නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රින් සඳ මත ඇවිද යද්දී, සඳ වටා කක්ෂගතව සිටි කොලින්ස් මිනිත්තු 48ක කාලයක් පෘථිවියෙන් සහ තම සගයන්ගෙන් වෙන්ව හුදකලාව ගත කළේය. ඔහු එය පසුව විස්තර කළේ “සැබෑ හුදකලාව” ලෙස වුවද, එහි වූ අමුතුම සාමකාමී බවක් ද ඔහු අගය කළේය.
ඉදිරි සැලසුම් මෙම සන්නිවේදන ඇණහිටීම අනාගතයේදී මගහරවා ගැනීමට නාසා සහ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය (ESA) මේ වන විටත් කටයුතු කරමින් සිටී. සඳ වටා සන්නිවේදන චන්ද්‍රිකා ජාලයක් ස්ථාපිත කිරීම හරහා සඳේ අඳුරු පැත්ත ගවේෂණය කරන අයට පැය 24 පුරාම සන්නිවේදනය ලබා දීම ඔවුන්ගේ ඉලක්කයයි.
සන්නිවේදනය නොමැති එම මිනිත්තු 40ක කාලය තුළ ගගනගාමීන් සඳෙහි භූ විද්‍යාත්මක ලක්ෂණ නිරීක්ෂණය කිරීමට සහ ඡායාරූප ලබා ගැනීමට සැලසුම් කර ඇත. යළිත් සඳුගේ සෙවනැල්ලෙන් මිදී සන්නිවේදන සංඥා පෘථිවියට ලැබෙන තෙක් නාසා මෙහෙයුම් මධ්‍යස්ථානය මෙන්ම මුළු ලෝකයම දැඩි අවධානයෙන් බලා සිටිනු ඇත.


