29.4 C
Galle

හෙට දවසේ වෛද්‍යවරුන් වෙනුවෙන් ගාල්ලෙන් ඇරඹි “FUTURE” පියවර

Published:

වෛද්‍ය සිසුන් සඳහා සුවපහසු සහ නවීන අධ්‍යයන පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් ගාල්ල වෛද්‍ය සංගමය (GMA) විසින් ස්ථාපිත කළ අධ්‍යයන විවේකාගාරය (‘FUTURE’) පසුගියදා (25) රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට නිල වශයෙන් භාරදෙනු ලැබීය.

අනාගත වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා පහසුකම් සලසා දීම සහ ඔවුන්ට නිදහස්, නිර්මාණශීලී අධ්‍යයන පරිසරයක් ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී තිබේ. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මගපෙන්වීම සහ උපදේශනය ලබාදුන් හිටපු පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටී. පී. වීරරත්න මහතා සහ නව පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විජිත ද සිල්වා මහතා විසින් ගොඩනැගිල්ල විවෘත කිරීම සිදුවිය.

මෙම ව්‍යාපෘතියේ සංකල්පය ඉදිරිපත් කරමින් එය ක්‍රියාත්මක කිරීම සඳහා නායකත්වය ලබාදුන්නේ ගාල්ල වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ගණක සෙනරත්න, ව්‍යාපෘතියේ සැලසුම් සහ නිර්මාණ කටයුතු සඳහා මගපෙන්වූ මහාචාර්ය අරුණ ද සිල්වා, ගාල්ල වෛද්‍ය සංගමය සහ වෛද්‍ය පීඨය අතර සම්බන්ධීකරණ කටයුතු සිදු කළ වෛද්‍ය ලලින්දි ද සිල්වා යන මහත්ම මහත්මීන් මෙහිදී විශේෂ ඇගයීමට ලක්විය. මහාචාර්ය චන්න යහතුගොඩ, මහාචාර්ය ඊෂා වෛද්‍යරත්න ඇතුළු වෛද්‍ය පීඨයේ ආචාර්ය මණ්ඩලය ලබාදුන් සහයෝගය ද මෙහිදී ගාල්ල වෛද්‍ය සංගමය අගය කළේය.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තියේ අනාගතය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ගාල්ල වෛද්‍ය සංගමයේ විධායක කමිටු සාමාජිකයන්, ගාල්ල ජාතික රෝහල හි විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් සහ වෛද්‍ය සිසුන් රැසක් දායක වී තිබුණි.

අනාගත වෛද්‍යවරුන් සඳහා වඩාත් යහපත් අධ්‍යාපනික පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් ඉදිරියටත් මෙවැනි සමාජ මෙහෙවර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ගාල්ල වෛද්‍ය සංගමය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!