ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම්වල ආරක්ෂාවට බරපතළ බලපෑමක් එල්ල කළ දෝෂයක් සම්බන්ධයෙන් මෙටා සමාගම පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙටා සමාගම විසින් පරිශීලකයන්ට සහාය ලබාදීම සඳහා හඳුන්වා දී ඇති කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ සහායක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් හැකර්වරුන්ට ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම්වල පාලනය ලබා ගැනීමට හැකි වී ඇති බව අනාවරණය වී තිබේ.
මෙම සිදුවීම හේතුවෙන් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සහ ආයතනවල ගිණුම් කිහිපයක් මෙන්ම සාමාන්‍ය පරිශීලකයන්ගේ ගිණුම් ද බලපෑමට ලක්ව ඇති බව වාර්තා වේ.
බලපෑමට ලක්වූ ගිණුම් අතර හිටපු අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ ධුර කාලයට අදාළ ධවල මන්දිර ලේඛනාගාර ගිණුමක්, ප්‍රසිද්ධ රූපලාවන්‍ය සමාගමක් වන Sephora හි ගිණුමක් සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ගිණුම් ද ඇතුළත් බව සඳහන් වේ.
ආරක්ෂක පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, මෙම දෝෂය හරහා හැකර්වරුන්ට ගිණුම් හිමිකරුගේ විද්‍යුත් තැපැල් ගිණුමට (Email) ප්‍රවේශයක් නොමැතිව පවා මුරපදය වෙනස් කිරීමේ හැකියාව ලැබී ඇති බවයි.
සරලව පැහැදිලි කළහොත්, ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමක් නැවත ලබා ගැනීම සඳහා භාවිත කරන AI සහායකය රවටා, ගිණුමට සම්බන්ධ විද්‍යුත් තැපැල් ලිපිනය වෙනස් කිරීමට හැකර්වරුන්ට හැකි වී තිබේ. ඉන් පසු නව මුරපදයක් සකස් කර ගිණුමේ පාලනය අත්පත් කරගෙන ඇත.
මෙටා සමාගමේ ප්‍රකාශක ඇන්ඩි ස්ටෝන් පවසා ඇත්තේ මෙම දෝෂය මේ වන විට නිවැරදි කර ඇති බවත්, බලපෑමට ලක්වූ ගිණුම් සුරක්ෂිත කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.
සයිබර් ආරක්ෂක විශේෂඥයන් පෙන්වා දෙන්නේ, කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ පද්ධති වැඩි වැඩියෙන් භාවිතයට ගැනීමත් සමඟ ඒවාට සංවේදී ආරක්ෂක කාර්යයන් භාරදීමේදී දැඩි ආරක්ෂක පියවර අනුගමනය කළ යුතු බවයි. එසේ නොවුණහොත්, මෙවැනි දෝෂ හරහා අපරාධකරුවන්ට පරිශීලක ගිණුම්වලට අනවසරයෙන් ප්‍රවේශ වීමට අවස්ථාව ලැබිය හැකි බව ඔවුහු අනතුරු අඟවති.
මේ අතර, ඉන්ස්ටර්ග්‍රෑම් භාවිත කරන පරිශීලකයන්ට දෙපියවර සත්‍යාපනය (Two-Factor Authentication) සක්‍රීය කර තබන ලෙසත්, සැක සහිත මුරපද වෙනස් කිරීමේ දැනුම්දීම් ලැබෙන්නේ නම් වහාම ආරක්ෂක පියවර ගන්නා ලෙසත් විශේෂඥයන් උපදෙස් ලබාදී තිබේ.



