30 C
Galle

වතුර බෝතලයක මිල ඉහලට

Published:

දේශීයව ඇසුරුම් කළ සහ බෝතල් කළ පානීය ජලය (PET බෝතල්) සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20 (5) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම අංක 96 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (10) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙන බව එම අධිකාරිය සඳහන් කරයි.

මෙම නව මිල පාලන නියෝගයත් සමඟ 2025 අප්‍රේල් 01 දිනැති අංක 2430/15 දරන ගැසට් පත්‍රයේ පළ කර තිබූ පැරණි මිල පාලන නියෝගය (අංක 93) අවලංගු වන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටී.

නව මිල සංශෝධනයට අනුව මිලි ලීටර 500 සිට 999 දක්වා වූ ජල බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 70 සිට රුපියල් 80 දක්වා ඉහළ නංවා ඇත.

ලීටර 1 සිට 1.49 දක්වා වූ බෝතලයක උපරිම මිල රුපියල් 100 සිට රුපියල් 120 දක්වා ද, ලීටර 1.5 සිට 1.99 දක්වා බෝතලයක මිල රුපියල් 130 සිට රුපියල් 150 දක්වා ද ඉහළ දමා තිබේ.

මීට අමතරව ලීටර 2 සිට 2.49 දක්වා වූ ජල බෝතලයක උපරිම මිල රුපියල් 160 සිට රුපියල් 180 දක්වා ද, ලීටර 5 සිට 6.99 දක්වා වූ විශාල ජල බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 350 සිට රුපියල් 400 දක්වා ද ඉහළ නංවා ඇති බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මෙම නව නියෝගයට අනුව, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම, අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ ඉදිරිපත් කිරීම කිසිදු නිෂ්පාදකයෙකුට, ඇසුරුම්කරුවෙකුට, බෙදාහරින්නෙකුට හෝ වෙළෙන්දෙකුට සම්පූර්ණයෙන්ම තහනම් වේ.

මෙම නියෝග උල්ලංඝනය කරමින් පාරිභෝගිකයන් සූරාකමින් වැඩි මිලට ජල බෝතල් අලෙවි කරන වෙළෙඳුන් සහ ආයතන සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් නිලධාරීන් විසින් දිවයින පුරා දැඩි සෝදිසි කිරීම් සහ වැටලීම් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!