30.5 C
Galle

වසර තුනකට වැඩි කාලයක් කෝමා තත්ත්වයේ සිටි තායි කුමරියගේ අවසන් ගමන

Published:

තායිලන්ත රාජකීය පවුලේ වඩාත්ම කැපී පෙනුණු සාමාජිකාවක් ලෙස සැලකුණු බජ්රකිතියභා කුමරියගේ ජීවිතය අවසන් වූයේ වසර තුනකට වැඩි කාලයක් පුරා පැවති නිහඬ සටනකින් අනතුරුවය.

මියයන විට ඇය 47 වන වියේ පසුවිය.

2022 දෙසැම්බර් මාසයේ දිනක, තම සුරතල් සුනඛයන් සමඟ ව්‍යායාම කරමින් සිටියදී ඇය හදිසියේම ඇද වැටුණාය. වෛද්‍යවරුන් පසුව ප්‍රකාශ කළේ හෘදයේ ඇති වූ Mycoplasma ආසාදනයක් හේතුවෙන් ඇති වූ බරපතළ හෘද ස්පන්දන අක්‍රමිකතාවක් එයට හේතු වූ බවයි.

එදින සිට ඇය කෝමා තත්ත්වයකට පත්වූ අතර, තායිලන්තයේ ප්‍රමුඛතම වෛද්‍ය කණ්ඩායම් ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා අඛණ්ඩ උත්සාහයන් ගත්තද, සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් පිරිහෙමින් ගියේය.

තායි රාජ මාලිගාව නිවේදනය කළේ බ්‍රහස්පතින්දා සවස බැංකොක්හි චුලාලොන්කෝන් රෝහලේදී ඇය අභාවප්‍රාප්ත වූ බවයි.

බජ්රකිතියභා කුමරිය සාමාන්‍ය රාජකීය සාමාජිකාවක් නොවීය. තායිලන්තයේ වත්මන් රජු වන වජිරලොන්කෝන් රජුගේ වැඩිමහල් දියණිය වූ ඇය, උසස් අධ්‍යාපනයෙන් සහ රාජ්‍ය සේවයෙන් කැපී පෙනුණු චරිතයක් වූවාය.

ඇය ඇමරිකාවේ කෝර්නෙල් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි දෙකක් ලබා ගත් නීතිඥවරියකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තායි නියෝජිත කාර්යාලයේ සේවය කිරීමෙන් අනතුරුව තායිලන්තයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ද වගකීම් දැරුවාය.

2012 සිට 2014 දක්වා ඔස්ට්‍රියාවේ තායි තානාපතිනිය ලෙස කටයුතු කළ ඇය, එම කාලයේදී එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලය සමඟ සමීපව කටයුතු කළාය.

විශේෂයෙන්ම බන්ධනාගාරවල සිටින කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ අපරාධ යුක්ති පද්ධති ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඇය හඬ නැගුවාය. සුළු මත්ද්‍රව්‍ය වැරදි සඳහා පවා දැඩි දඬුවම් නියම වන තායි නීති පද්ධතියේ වෙනස්කම් අවශ්‍ය බව ඇය නිරන්තරයෙන් අවධාරණය කළාය.

රාජකීය වගකීම්වලට අමතරව, ඇය දිගුදුර ධාවන තරගවලට සහභාගී වන ක්‍රීඩාශීලී චරිතයක් ලෙසද ප්‍රසිද්ධියට පත්ව සිටියාය.

ඇයගේ බුද්ධිය, නායකත්ව හැකියාව සහ පියා වන රජුගේ විශ්වාසය නිසා තායිලන්තයේ අනාගත රාජ උරුමය පිළිබඳ කතාබහේදී ඇයගේ නම නිරන්තරයෙන් ඉදිරියට පැමිණියේය.

73 හැවිරිදි වජිරලොන්කෝන් රජු තවමත් නිල වශයෙන් උරුමක්කාරයෙකු නම් කර නැත. සම්ප්‍රදායිකව පිරිමි උරුමක්කාරයෙකුට ප්‍රමුඛත්වය හිමි වුවද, තායි ව්‍යවස්ථාවේ සංශෝධන මගින් කාන්තාවකට ද සිංහාසනයට පත්වීමේ හැකියාව විවෘත කර තිබේ.

බොහෝ තායි ජාතිකයන්ගේ මතය වූයේ, රටේ අනාගත රාජ නායකත්වය භාර ගැනීමට වඩාත් සුදුසුම පුද්ගලයා බජ්රකිතියභා කුමරිය බවයි.

ඇයගේ අභාවයත් සමඟ තායිලන්තයේ රාජ උරුමය පිළිබඳ ප්‍රශ්නය යළිත් වරක් විවෘත වී තිබේ. එහෙත් රජ පවුල සම්බන්ධ දැඩි නීතිමය සීමාවන් හේතුවෙන් එම කාරණය පිළිබඳ විවෘත සාකච්ඡාවක් තවමත් දැකගත නොහැක.

කෙසේ වෙතත්, තායිලන්තය තුළත්, ජාත්‍යන්තර වශයෙන්ත් ගෞරවයට පාත්‍ර වූ රාජකීය නායිකාවකගේ ජීවිතය මෙලෙස නිහඬව අවසන් විය.

Related articles

spot_img
error: Content is protected !!