30.1 C
Galle

එන්නත නිසා ගැබ්ගෙල පිළිකා මරණ අවදානම බිංදුවටම බසී

Published:

පාසල් වියේ පසුවන ගැහැණු ළමයින් සඳහා 2008 වසරේ සිට ‘හියුමන් පැපිලෝමා වෛරස’ (HPV) එන්නත ලබාදීම ආරම්භ කිරීමත් සමඟ, ගැබ්ගෙල පිළිකා (Cervical Cancer) හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. මේ වන විට එංගලන්තය තුළ පමණක් මෙම එන්නත නිසා කාන්තාවන් 200කගේ පමණ ජීවිත බේරා ගැනීමට හැකි වී ඇති බව පර්යේෂකයෝ පවසති.

ලන්ඩන් හි ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ (Queen Mary University of London) මහාචාර්ය පීටර් සැසියේනිගේ (Peter Sasieni) ප්‍රධානත්වයෙන් සිදුකළ මෙම අධ්‍යයනයට අනුව, වයස අවුරුදු 12-13 කාලයේදී එන්නත ලබාගත් පිරිස් අතර වයස අවුරුදු 30ට පෙර ගැබ්ගෙල පිළිකාවලින් මියයාමේ අවදානම සම්පූර්ණයෙන්ම නැතිවී ඇතැයි සොයාගෙන තිබේ.

ලබා දී ඇති දත්තවලට අනුව, 2020 සහ 2024 වසර අතර කාලය තුළ වයස අවුරුදු 20 සිට 24 දක්වා වූ තරුණ කාන්තාවන් අතර කිසිදු ගැබ්ගෙල පිළිකා මරණයක් වාර්තා වී නොමැති අතර, වසර පහක කාලසීමාවක් තුළ මෙවැනි තත්ත්වයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වෙයි. මෙම එන්නත්කරණය ක්‍රියාත්මක නොවූයේ නම් එම වයස් කාණ්ඩය තුළ අවම වශයෙන් මරණ 23ක් පමණ සිදුවීමට ඉඩ තිබූ බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

“එක් එන්නත් මාත්‍රාවකින් මෙවැනි පිළිකා තත්ත්වයක් සම්පූර්ණයෙන්ම පාහේ තුරන් කළ හැකි යැයි සිතීම පවා පුදුම සහගතයි” යනුවෙන් මහාචාර්ය පීටර් සැසියේනි සඳහන් කළේය. සමීප සම ස්පර්ශය (Skin-to-skin contact) මඟින් ව්‍යාප්ත වන HPV වෛරසය, ගැබ්ගෙල පිළිකා රෝගීන්ගෙන් 99%කටම වගකිව යුතු ප්‍රධාන සාධකය ලෙස සැලකේ.

බ්‍රිතාන්‍ය පිළිකා පර්යේෂණ ආයතනය (Cancer Research UK) මෙම සොයාගැනීම අතිශය වැදගත් සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන අතරම, වර්තමානයේ එංගලන්තය තුළ එන්නත් ලබාගැනීමේ ප්‍රතිශතය නිර්දේශිත මට්ටමට වඩා පහළ බැස ඇති බවට අනතුරු අඟවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ ගැබ්ගෙල පිළිකා සම්පූර්ණයෙන් තුරන් කිරීම සඳහා අවුරුදු 15ට අඩු ගැහැණු ළමයින්ගෙන් 90%ක්වත් එන්නත්කරණයට ලක්විය යුතු බවයි. නමුත් එංගලන්තයේ වත්මන් ප්‍රතිශතය පවතින්නේ 76%ක මට්ටමකය.

එක්සත් රාජධානිය 2040 වන විට ගැබ්ගෙල පිළිකා පොදු සෞඛ්‍ය ගැටලුවක් ලෙස රටෙන් තුරන් කිරීමට ප්‍රතිඥා දී ඇති අතර, ඒ වෙනුවෙන් ප්‍රජා ඖෂධසල් හරහා විශේෂ එන්නත්කරණ වැඩසටහන් සහ නිවෙස් වෙතම ගොස් පරීක්ෂා කරගත හැකි ‘HPV ස්වයං-පරීක්ෂණ කට්ටල’ (Self-testing kits) හඳුන්වා දීමටද පියවර ගනිමින් සිටී.

එන්නත ලබා ගත්තද වයස අවුරුදු 25 සිට 64 දක්වා කාන්තාවන් තවදුරටත් සාමාන්‍ය ගැබ්ගෙල සායනික පරීක්ෂණ (Cervical Screening) සඳහා සහභාගී වීම වැදගත් බව වෛද්‍යවරු උපදෙස් දෙති. එමෙන්ම, 2019 වසරේ සිට පිරිමි ළමයින්ටද මෙම එන්නත ලබාදීම ආරම්භ කර ඇති අතර, එමඟින් ඔවුන්ට වැළඳිය හැකි අනෙකුත් පිළිකා මර්දනය වනවා මෙන්ම ගැහැණු ළමයින්ට වෛරසය බෝවීමේ අවදානමද විශාල ලෙස පහළ යයි.

(BBC ඇසුරිණි)

Related articles

spot_img
error: Content is protected !!