බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය සහ කම්කරු පක්ෂයේ (Labour Party) නායක කෙයර් ස්ටාමර් (Keir Starmer) මහතා සිය ධුරවලින් ඉල්ලා අස්වන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. 2024 ජූලි මාසයේදී පැවැති මහා මැතිවරණයෙන් කම්කරු පක්ෂය ලැබූ අතිවිශාල ජයග්‍රහණයෙන් වසර දෙකකට පසු ඔහු මෙලෙස ඉල්ලා අස්වීම විශේෂත්වයකි.
අද උදෑසන බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු වෙත දුරකථනයෙන් ඇමතුමක් ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ තීරණය දැනුම් දී ඇත. ඉන් අනතුරුව අංක 10 ඩවුනින් වීදියේ (Downing Street) පිහිටි නිල නිවස ඉදිරිපිට සිට මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සිය තීරණය ප්‍රකාශයට පත් කළේය.
මීළඟ මහා මැතිවරණය සඳහා පක්ෂය මෙහෙයවීමට තමා සුදුසුම පුද්ගලයා ද යන්න පිළිබඳව පක්ෂය තුළ ප්‍රශ්න මතු වෙමින් තිබූ බව ස්ටාමර් මහතා මෙහිදී සඳහන් කළේය.
“පක්ෂය මගෙන් ඇසූ ප්‍රශ්නයට මට පිළිතුර ලැබුණා. මම ඒ පිළිතුර ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. මා ධුරයේ සිටියදී ගත් සෑම තීරණයක්ම මා ආදරය කරන රට මුල් තැන තබා ගත් තීරණයි.” කෙයර් ස්ටාමර් පැවසීය.
දැඩි ලෙස සංවේදී වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, තමාට ශක්තියක් වූ සිය බිරිඳ වික්ටෝරියාට (Victoria) සහ දරුවන්ට ස්තූතිය පුද කළ අතර, ඉදිරියේදී ඔවුන් වෙනුවෙන් කාලය කැප කරන බව ද පැවසීය.
කම්කරු පක්ෂය විසින් නව නායකයෙකු තෝරා ගන්නා තෙක් තමා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බව ස්ටාමර් මහතා පැවසීය. ලබන ජූලි 9 වැනිදා නව නායකත්වය සඳහා නාම යෝජනා කැඳවීම ආරම්භ කරන ලෙසත්, පාර්ලිමේන්තුවේ ගිම්හාන නිවාඩුව අවසන් වී සැප්තැම්බර් 1 වැනිදා නැවත රැස්වීමට පෙර නව නායකයෙකු පත් කර ගැනීමට කටයුතු කරන ලෙසත් ඔහු පක්ෂයේ විධායක කමිටුවෙන් ඉල්ලා තිබේ.
මේ වන විට නව නායකත්වය සඳහා ඉදිරියෙන්ම සිටින්නේ පසුගියදා පැවැති අතුරු මැතිවරණයකින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඇන්ඩි බර්න්හැම් (Andy Burnham) මහතාය. ඔහු නිතරගයෙන් පත් වුවහොත් ඉතා ඉක්මනින් බ්‍රිතාන්‍යයේ ඊළඟ අග්‍රාමාත්‍යවරයා බවට පත්වනු ඇත.
කෙයර් ස්ටාමර්ගේ ඉල්ලා අස්වීමත් සමඟ රිෆෝම් (Reform UK) පක්ෂයේ නායක නයිජල් ෆැරාජ් (Nigel Farage) ප්‍රකාශ කර සිටින්නේ, හැකි ඉක්මනින් රට තුළ මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවයි. ස්ටාමර් යනු බ්‍රිතාන්‍ය ඉතිහාසයේ බිහි වූ අදක්ෂම අග්‍රාමාත්‍යවරයා බවට ද ඔහු චෝදනා කළේය. මේ අතර ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක එඩ් ඩේවි (Ed Davey) පවසා ඇත්තේ, නිරන්තරයෙන් අග්‍රාමාත්‍යවරුන් වෙනස් වන මෙම දේශපාලන ක්‍රමය පිළිබඳව බ්‍රිතාන්‍ය ජනතාව දැන් දැඩි ලෙස කලකිරී සිටින බවයි.



