බ්‍රිතාන්‍ය ඉතිහාසයේ බිලියනපති වත්කමක් හිමිකරගත් ප්‍රථම වෘත්තීය ක්‍රීඩකයා (Sportsman) ලෙස වාර්තා පොත් අලුත් කිරීමට එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු නායක ශ්‍රීමත් ඩේවිඩ් බෙකම් සමත්ව තිබේ. 2026 වසරේ Sunday Times පෝසතුන්ගේ ලැයිස්තුවට අනුව, බෙකම් සහ ඔහුගේ බිරිඳ වික්ටෝරියා බෙකම්ගේ ඒකාබද්ධ වත්කම පවුම් බිලියන 1.185ක් ලෙස සටහන් වේ.
ක්‍රීඩා ක්ෂේත්‍රයේ ධනවතුන් අතර දෙවැනි තැන
බෙකම් බිලියනපති වත්කම් හිමි පළමු “ක්‍රීඩකයා” වුවද, සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයේ (ව්‍යාපාරිකයන් ද ඇතුළුව) නිරත ධනවතුන් අතර ඔහු පසුවන්නේ දෙවැනි ස්ථානයේය. එහි ප්‍රථම ස්ථානය පවුම් බිලියන 2ක වත්කමක් හිමි ෆෝමියුලා වන් (F1) හිටපු ප්‍රධානී සහ ව්‍යාපාරික බර්නි එක්ලෙස්ටෝන්ගේ පවුල සතු වේ.
සෙසු ක්‍රීඩා තරු සහ ඔවුන්ගේ වත්කම්
මෙවර ලැයිස්තුවේ සෙසු ක්‍රීඩා තරු අතර ෆෝමියුලා වන් (F1) රේසිං ශූර ශ්‍රීමත් ලුවිස් හැමිල්ටන් පවුම් මිලියන 435ක වත්කමක් සහිතව පස්වැනි ස්ථානය දිනා සිටින අතර, ගොල්ෆ් ක්‍රීඩක රෝරි මැක්ඉල්රෝයි පවුම් මිලියන 325ක් හිමිකර ගනිමින් හත්වැනි ස්ථානයට පත්ව ඇත්තේ පිට පිට දෙවරක් මාස්ටර්ස් ශූරතාව දිනාගැනීමත් සමඟිනි.
බ්‍රිතාන්‍ය හෙවිවේට් බොක්සිං ක්‍රීඩකයින් වන ඇන්තනි ජොෂුවා (පවුම් මිලියන 240) සහ ටයිසන් ෆියුරි (පවුම් මිලියන 162) පිළිවෙළින් අටවැනි සහ නවවැනි ස්ථාන දිනාගෙන ඇත. එමෙන්ම, එංගලන්ත පාපන්දු නායක හැරී කේන් සහ ප්‍රකට ටෙනිස් ක්‍රීඩක ශ්‍රීමත් ඇන්ඩි මරේ පවුම් මිලියන 110 බැගින් වූ සමාන වත්කම් සහිතව දසවැනි ස්ථානය හවුලේ බෙදාගෙන තිබේ.
ආදායම් මාර්ග සහ ව්‍යාපාරික ජයග්‍රහණ
51 හැවිරිදි ශ්‍රීමත් ඩේවිඩ් බෙකම්ගේ ධනයට ප්‍රධාන වශයෙන්ම ඇමරිකානු ‘ඉන්ටර් මියාමි’ (Inter Miami) පාපන්දු කණ්ඩායමේ ඔහුගේ අයිතිවාසිකම සහ Adidas, Hugo Boss වැනි සන්නාම තානාපති වරප්‍රසාද දායක වී ඇත. වික්ටෝරියා බෙකම්ගේ ධනය ඇයගේ සාර්ථක විලාසිතා ව්‍යාපාර හරහා ගොඩනැගී තිබේ.
මීට අමතරව, බොක්සිං සහ වෙනත් ක්‍රීඩා ප්‍රවර්ධකයින් වන බැරී සහ එඩී හෙර්න් ද පවුම් බිලියන 1.035ක ඒකාබද්ධ වත්කමක් හිමිකර ගනිමින් මෙවර බිලියනපතියන්ගේ ලැයිස්තුවට අලුතින් එක්ව සිටිති.



