“මේ තරම් වෛද්‍ය විද්‍යාව දියුණුවෙලා තියන කාලයක නිසි ප්‍රතිකාර නොලැබීම නිසා මේ දරුවාගේ ජීවිතය අහිමිවූ බව තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ. දරුවකුගේ ජීවිතය හැමදේටම වඩා වටිනවා. අපේ අතපසුවීම්, නොසැළකිලිමත් කම නිසා වටිනා ජීවිත අහිමිවෙන්න පුළුවන්” යැයි ගාල්ල ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා කීවේය.
ඔහු මේ බව කියා සිටියේ සර්ප දෂ්ඨනයකට නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් මියයගිය හේහප්පුර දේවගේ සෙනුත් සෙහංස සෝමසිරි නමැති 12 හැවිරිදි දරුවාගේ මරණ පරීක්ෂණයේ දී ය. කුලීගොඩ, පල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචි පුතුන් තිදෙනකුගෙන් යුතු පවුලක වැඩිමල් දරුවා වූ හෙතෙම මාදම්ප මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබමින් සිටි ශිෂ්‍යයෙකි.
මේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (08) ගාල්ල ජාතික රෝහලෙ දී පසුගිය 07 වැනි දා පැවැත්විණි. එහි දී මියගිය දරුවාගේ මව දැල්කඳුර ආරච්චිලාගේ උරේෂා රවීහාරි ද සිල්වා මහත්මිය සාක්ෂි දෙමින් මෙසේ කීවාය.
“ මියගොස් සිටින්නේ මගේ ලොකු පුතා ය. පහුගිය 02 වැනි දා සවස 3.45ට විතර පුතා අල්ලපු ගෙදර වත්තේ වැටිලා තිබුණු වේලුණු පොල්අත්තක් ඇදගෙන ආවා කුණු ගොඩවල් වගයක් පුච්චන්න. ඒක ගෙනාවට පස්සේ පුතා කිව්වා කකුල සතෙක් කෑවා කියලා. සතා දැක්කේ නෑ කියලත් කිව්වා. මම පුතාගේ කකුල බැලුවා දකුණු කකුලේ සුළැඟිල්ලේ පොඩි තිත් දෙකක් වගේ තිබුණා. මිරිකුවාම චුට්ටක් ලේ ආවා. පස්සේ මම ඇඟිල්ල තදට ගැට ගැහුවා. ටික වේලාවකින් කාපු තැන දම්පාට දිය පට්ටයක් වගේ ආවා. පස්සේ මම කරපිංචා කැඳ ටිකක් හදලා දුන්නා. එදාම සවස ගමේ ඉන්න සර්ප වෙද මහත්තයෙක් ගාවට එක්කගෙන ගියා. එයා කකුලට බෙහෙත් බැන්දා කුණකටුවෙක් කාලා කියලත් කිව්වා. පසුව දා උදේ නැවත බෙහෙත් බඳින්න එක්කගෙන ගියා. එදත් ඇඟිල්ලට බෙහෙත් බැන්දා. මේ වනවිටත් ළමයා හොඳට හිටියා. 05 නිදා උදෙත් එහෙම බෙහෙත් බැන්දා. 06 වැනිදා උදේ නමයට විතර ළමයාගේ ඇඟ ගැහෙන්න අරන් තිබුණා. ඒ වෙලාවේ මම ගෙදර හිටියේ නෑ. මගේ අම්මා පුතා මාදම්පේ ග්‍රාමීය රෝහලට බෙහෙත් ගන්න එක්කගෙන ගිහින් තිබුණා. බෙහෙතේ අරගෙන ඇවිත් ඉන්නකොට කකුල් රිදෙනවා කියලා ළමයා නිදා ගත්තා. රෑට බත් ටිකක් කෑවට පස්සේ වමනය කළා. ඒ වෙලාවේ පුද්ගලික වෛද්‍යවරයකුගෙන් බෙහෙත් අරගෙන ආවා. එදා රාත්‍රී 12.30ට විතර දරුවා කිව්වා ඇඟ දැවිල්ලයි නින්ද යන්නේ නෑ කියලා. ඇඟේ කලු පාට ලප ඇවිත් තියෙනවා දැක්කා. අපි ඒ වෙලාවේ ඉක්මනටම බලපිටිය මූලික රෝහලට එක්කගෙන ගියා. එයාලා ලේ පරීක්ෂා කරලා බලලා කිව්වා පොළඟෙක් කාලා තියෙන්නේ කියලා. ප්‍රතිකාර කළා. ඒ වනවිටත් දරුවාට සිහිය තිබුණා. කතා කළා. පස්සේ එදාම බලපිටියෙන් කරාපිටිය රෝහලට එව්වා. දැඩි සත්කාර ඒකකයට ගත්තා. 07 වැනි දා උදේ ඇතුළු කළේ. එදා දවල් 1.15ට විතර පුතා නැති වුණා. “
මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලද අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.ඩී.ඒ.දිසානායක මහත්මිය විසිනි මියගිය දරුවාගේ පටක කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර තිබූ අතර ඇයගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සළකා බැලූ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා මේ සම්බන්ධ විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත්කළේය.


