29.4 C
Galle

රත්ගම ළිඳක වැටී මියගිය කාන්තාවක් කොරෝනා ආසාදියකු බව හෙළිවෙයි

Published:

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හුදකලා කර ඇති කටුදම්පේ ග්‍රාම නිලධාරී වසමේ ළිඳක වැටී මියගොස් සිටි කාන්තාවක් කොරෝනා ආසාදිත බව අද (02) තහවුරු වී ඇතැයි රත්ගම හදිසි මරණ පරීක්ෂක සාගරිකා නිල්මිණි කීවාය.

මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි වියේ පසු වූ අවිවාහක කාන්තාවකි. ඇය තම සොහොයුරාගේ නිවසේ ඔහුගේ පවුලේ අය සමඟ නතරව සිටියාය. එම නිවසේ දෙදෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කළහ. මියගිය මෙම කාන්තාව නිවසේ ස්වයං නිරෝධායනයේ සිටි අතර පසුගිය 30 දා දහවල් ආහාර ගැනීමෙන් පසු අතුරුදන්ව සිටි බව නිවැසියන් පවසුයි.

පසුව ඊයේ (01) නිවස‍ට තරමක් දුරින් පිහිටි ළිඳක ඇගේ සිරුර පාවෙමින් තිබිය දී ගැමියකු විසින් දැක ඒ බව දැනුම් දීමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් පීසීආර් පරීක්ෂණයකට ලක්කර තිබිණි. එහි ප්‍රතිඵලය අනුව ඇය මියයනවිට කොරෝනා ආසාදනය වූ කාන්තාවක් බව තහවුරු වී තිබේ.

හදිසි මරණ පරීක්ෂක සාගරිකා නිල්මිණි පවසන්නේ මෙම කාන්තාව මීමැස්මොර රෝගයෙන් පෙළෙන බවට වෛද්‍ය වාර්තා ඇති බවයි.

මෙම මරණය සම්බන්ධ අධිකරණ වෛද්‍ය නිර්දේශය හෙට (03) දිනයේ ලැබීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!