මලෛයහ ජනතාව දිගුකාලීනව මුහුණ දෙන සමාජ, ආර්ථික හා මානව හිමිකම් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා රාජ්‍ය ආයතන, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දේශපාලන අධිකාරිය සම්බන්ධ කරගනිමින් විශේෂ සාකච්ඡාවක් කැඳවීමට කටයුතු කරන බව දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩු මහතා පවසයි. ඒ අනුව ගාල්ල හා මාතර දිස්ත්‍රික් ලේකම්වරුන්, ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වූ කාර්යාලය, අදාළ අමාත්‍යාංශ සහ වතුකරයේ ජනතා හඬ සංවිධානය සමඟ එක්ව මෙම සාකච්ඡාව පැවැත්වීමට අපේක්ෂා කරන බව ද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වූ කාර්යාලය සහ වතුකරයේ ජනතා හඬ සංවිධානය එක්ව සංවිධානය කළ සාම උළෙලට සහභාගී වෙමිනි. එම උත්සවය පසුගියදා (21) ගාල්ල කළුවැල්ල සෙඩ්ගෝල් ආයතනයේදී පැවැත්විණි.
මලෛයහ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා රජයට මැදිහත් විය හැකි බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා, ඇතැම් ජනතාවට තම දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී ගැටලු පවතින බවත්, තවත් පිරිසකට තම ඉඩම් සඳහා ඔප්පු ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් සඳහන් කළේය. එමෙන්ම බැංකු කටයුතු ඇතුළු විවිධ අවස්ථාවලදී ද ඔවුන්ට ගැටලු මතුවන බව ඔහු පෙන්වා දුන්නේය.
“මේවා විසඳිය නොහැකි ප්‍රශ්න නොවෙයි. සාකච්ඡාවක් ඇති කරගෙන රජයේ සහාය ඇතිව මේ ගැටලුවලට විසඳුම් සෙවිය හැකියි” යනුවෙන් ද ආණ්ඩුකාරවරයා පැවසීය. වර්තමාන රජය මලෛයහ ජනතාවට ලබාදිය හැකි උපරිම සාධාරණත්වය ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළ ඔහු, රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා වතුකරයේ ජනතාව විශාල කැපවීමකින් කටයුතු කර ඇති බැවින් ඔවුන්ට සාධාරණය ඉටුවිය යුතු බව ද අවධාරණය කළේය. එම ජනතාවගේ දරුවන්ට ද රටේ සෙසු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් සහ අවස්ථා සහිතව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම සියලු දෙනාගේ වගකීමක් බව ඔහු සඳහන් කළේය. අතීතයේදී දේශපාලන පටු අරමුණු සහ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් මෙම ජනතාව යොදාගත් අවස්ථා පැවති බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා, එවැනි තත්ත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බව ද පැවසීය. ජාතික සමගිය පලුදු වීම සහ දූෂණය හා වංචාව රටේ සංවර්ධනයට බාධාවක් බවත්, ස්ථිරසාර සාමයක් ගොඩනැගීම රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය.
“අපි ජාතීන් අනුව බෙදී නොසිට ශ්‍රී ලාංකිකයන් ලෙස එකම පුරවැසියන් හැටියට කටයුතු කළ යුතුයි. රටේ සාමය, සමගිය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා අවශ්‍ය සියලු මැදිහත්වීම් සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මගේ ප්‍රතිඥාව ලබා දෙනවා” යනුවෙන් ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා මැදිහත්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් වතුකරයේ ජනතා හඬ සංවිධානය වෙත සිය කෘතඥතාව පළ කළ ආණ්ඩුකාරවරයා, ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ මලෛයහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා පැවතියද ඔවුන්ගේ තත්ත්වයේ අපේක්ෂිත වෙනසක් තවමත් සිදුවී නොමැති බවයි. එමෙන්ම ඉදිරියට පැමිණීම සඳහා ජනතාවගේ ස්වෝත්සාහය ද වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.
වතුකරයේ ජනතා හඬ සංවිධානයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ මලෛයහ ජනතාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීමටත්, සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව අතර විශ්වාසය සහ සහජීවනය ගොඩනැගීමටත් අපේක්ෂා කෙරේ. සිංහල සහ මලෛයහ දෙමළ ජනතාව අතර සාමය, සහජීවනය හා අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම මෙන්ම මලෛයහ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ.
වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ දෙමළ භාෂා පාඨමාලාවට සහභාගී වී දක්ෂතා දැක්වූ දරු දැරියන්ට සහතිකපත් ප්රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණි. දරුවන් ඉදිරිපත් කළ ගායන හා නර්තන අංගවලින් උළෙල වර්ණවත් විය.
මෙම අවස්ථාවට සහන ස්වේච්ඡා සහ සුබ සාධන තරුණ සංවිධානයේ උප සභාපති ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරවාසී රාජකීය පණ්ඩිත වීරකැටියේ සුබෝධ හිමියන්, දකුණු පළාත් කතෝලික සභාවේ අනුනායක හා කරිටාස් සෙඩ්ගෝල් අයතනයේ අධ්යක්ෂ ගරු මයිකල් රාජේන්ද්‍රන් පියතුමා, ගරු භ්‍රහ්ම ශ්‍රී ක්‍රිෂ්ණමූර්ති විග්නේස්වර් කුරුක්කල්තුමා, ගාල්ල දේවස්ථානයේ මීසම්පාලක ගරු ඩේමියන් අර්සකුලරත්න පියතුමා, මල්හරුස් සුල්ෆියා ජාතික පාසලේ සහකාර විදුහල්පති ගරු පී ජී එම් හසීඩ් මවුලවිතුමා, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් මහතා, ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වූ කාර්යාලයේ සහකාර අධ්යක්ෂ ඩී.ජී.එස්.කේ. කුමාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද වතුකරයේ ජනතා හඬ සංවිධානයේ විධායක අධ්යක්ෂ ඇන්තනී ජේසුදාසන්, වැඩසටහන් අධ්‍යක්ෂිකා ලවීනා හසන්ති, ජාතික වැඩසටහන් සම්බන්ධීකාරක වී. ප්‍රියදර්ශනී, ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන් සහ මලෛයහ ජනතාව එක්ව සිටියහ.



