28.3 C
Galle

පිරිත් පිංකමේ මල්වෙඩි අනතුරෙන් නිවී ගිය 18 හැවිරිදි සිසුවාගේ ජීවිතය

Published:

පිරිත් පිංකමක් පැවැත්වෙන නිවසක මල්වෙඩි පත්තු කිරීමට ගිය 18 හැවිරිදි පාසල් සිසුවකු එහිදී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමේ අනුවේදනීය පුවතක් වීරකැටිය ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ වීරකැටිය, කැප්පිටියාව පදිංචි වන්තන්ත්‍රිගේ ඉරෝෂ් දිනුජය ජයසේකර නැමැති හම්බන්තොට වීරකැටිය ජාතික පාසලේ සිසුවෙකි.

මරණකරුගේ නිවසට කිලෝමීටර් පහක් පමණ දුරින් පිහිටි අත්තරයාල ප්‍රදේශයේ ඥාති නිවසක පැවැති පිරිත් පිංකමකදී පසුගිය 22 වෙනිදා රාත්‍රීයේ මෙම අනතුර සිදුව තිබේ. තම බාල පුතා මල්වෙඩි රැගෙන විත් ඒවා සූදානම් කර ඇති බවත්, මින්පෙරදීත් ඔහු එවැනි කටයුතුවල නිරත වී ඇති බවත් මියගිය සිසුවාගේ පියා වන 54 හැවිරිදි වන්තන්ත්‍රිගේ රිච්මන් පුෂ්පකුමාර මහතා ගාල්ල ජාතික රෝහලේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පැවසීය. අනතුරින් මුහුණ පිළිස්සී සිහිසුන්ව සිටි පුතා වීරකැටිය සහ මාතර රෝහල් හරහා කරාපිටියේ ගාල්ල ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළද, 23 වෙනිදා උදෑසන 6.10ට පමණ ඔහු මෙලොව හැර ගිය බව පියා සඳහන් කළේය.

මෙම අනතුර සිදුවූ ආකාරය පිළිබඳව මියගිය ඉරෝෂ්ගේ සමීපතම මිතුරකු මෙන්ම එකම පන්තියේ සගයකු වන 17 හැවිරිදි හක්මන කොඩිතුවක්කුගේ සුරේන් ප්‍රභාෂ්වර සිසුවා සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ, පිරිත ආරම්භ වීමට පෙර නිවස ඉදිරිපිට අඩි දෙකක පමණ පරතරයකින් වළවල් කපා මල්වෙඩි සවි කළ බවයි. පිරිත පටන් ගැනීමත් සමඟ ඉරෝෂ් මල්වෙඩි දැල්වීමට පටන් ගත් අතර, අනෙකුත් මල්වෙඩි පත්තු වුවද පස්වැන්න දැල්වී නැත. එහිදී නොදැල්වුණු මල්වෙඩිල්ල අසලට ගොස් එහි නූල පරීක්ෂා කර බැලීමට ඉරෝෂ් කටයුතු කළ මොහොතේම එය පත්තු වී ඔහුගේ මුහුණේ වැදී ඇත. ඒ සමඟ ඉරෝෂ් බිම ඇද වැටුණු අතර, දිව ගොස් බලන විට ඔහුගේ මුහුණ පිළිස්සී තිබූ බව මිතුරා සඳහන් කළේය.

මෙම මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල ජාතික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය එච්.ඩී. වීරරත්න මහතා විසින් සිදු කරන ලදී. එම වාර්තාව, නිරීක්ෂණ සහ සාක්ෂි සලකා බැලූ ගාල්ල ජාතික රෝහලේ මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා, පුපුරණ ද්‍රව්‍යකින් හිසට සිදුවූ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට තීරණය කළේය. වීරකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නොදැල්වුණු පුපුරණ ද්‍රව්‍යයක් අසලට ගොස් පරීක්ෂා කිරීමේ අපරික්ෂාකාරී ක්‍රියාව නිසා අහිමි වූ මෙම ළාබාල ජීවිතය සමස්ත සමාජයටම මහත් කම්පනයක් සහ පාඩමක් එක් කරනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!