29.7 C
Galle

හරිත සංක්‍රාන්තියේ පරීක්ෂණයට ලක් වූ ගාල්ලේ කසළ ව්‍යාපෘතිය

Published:

සිරංගිකා ලොකුකරවිට

කොළඹ සිට ගාල්ල බලා ගමන් කරන බොහෝ දෙනකුට මුහුදුබඩ මාර්ගය අමතක කළ නොහැකි මතකයකි. මුහුදේ සුන්දරත්වය දකිමින්, වෙරළබඩ නගර සහ ගම්මාන පසුකරමින් ගාල්ල දෙසට පැමිණෙන ඒ ගමනේදී මහමෝදර පාලම හමුවන්නේ ගාල්ල නගරයට පිවිසෙන දොරටුවක් ලෙසිනි. එදා පාලම මතින් ගමන් කරන විට වම්පසින් දිස්වූයේ ගඟත්, කලපුවත්, ඒ අවට පැතිරුණු ස්වාභාවික පරිසරයේ සුන්දරත්වයත්ය. එහෙත් අද එම පාලම මතින් ගමන් කරන විට වම්පස බලන කෙනකුට දක්නට ලැබෙන්නේ ඒ සුන්දරත්වය අතරින් මතුවූ දැවැන්ත කසළ කන්දකි.

මීට මාස හත අටකට පෙර මෙම මාර්ගයෙන් ගාල්ලට පිවිසුණු ඔබට, එම ස්ථානය පසුකර යන විට දැනුණු දුර්ගන්ධයත්, එය පැමිණියේ කොතැනින්දැයි සොයා බැලීමට හැරී බැලූ අයුරුත් අමතක කළ නොහැකි වනු ඇත. ගාල්ල යනු ඉතිහාසය, සංස්කෘතිය සහ සංචාරක ආකර්ෂණය නිසා ලෝකය හඳුනන ලෝක උරුම නගරයකි. එවැනි නගරයක දොරටුව අසල මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන විදේශීය සංචාරකයකු ගාල්ල පිළිබඳව කුමන හැඟීමක් ඇති කරගනු ඇත්ද?

ගාල්ල මහ නගර සභා බලප්‍රදේශයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා භාවිත වූ ගාල්ල නගරාසන්නයේ හීන්පැන්දල ගමේ පිහිටි මෙම කසළ කළමනාකරණ මධ්‍යස්ථානය මහමෝදර කලපුව, ගිං ගඟ සහ කැප්පූ ඇළ ආශ්‍රිත කඩොලාන සහිත තෙත්බිම් පරිසර පද්ධතියේ ස්ථාපනය කර තිබිණි. සරලව කිවහොත් ගාල්ල නගර සභාව කසළ ගෙනගොස් ගොඩගැසුවේ මහමෝදර ජලාශයේ ගඟ රක්ෂිතයේය. එම පරිසරය ශාක හා සත්ත්ව විශේෂ ගනනාවකට වාසස්ථාන සපයන අතර නිවාස 500කින් පමණ සමන්විත නිවාස සංකීර්ණයක් සහිත, ගම්මාන කිහිපයකින් වටවී ඇති, ගඟ ආශ්‍රිතව ජීවනෝපාය පවත්වාගෙන යන ජනතාවට ද එකසේ වැදගත් අර්ධ නාගරික ප්‍රදේශයකි.   

එවැනි සංවේදී පරිසරයකට ආසන්න භූමියක් දශක තුනකට ආසන්න කාලයක් නගරයේ මිශ්‍ර කසළ විවෘතව බැහැර කරන ස්ථානයක් ලෙස භාවිත කිරීමෙන් ඇතිවූ ගැටලුවට විසඳුමක් සෙවීම සඳහා ජපානයේ කවෂිමා තාක්ෂණය මෙරටට හඳුන්වා දෙනු ලැබිණි. නවීන යන්ත්‍රයක් මඟින් කසළ කළමනාකරණය කර කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමේ අපේක්ෂාව තිබුණ ද, අද එම ව්‍යාපෘතියේ අනාගතය පිළිබඳ ප්‍රශ්න රැසක් ඉතිරි වී තිබේ.

මහමෝදර පාලම අසල දකින්නට ලැබෙන මේ කසළ කන්ද හුදෙක් නගරයක අපිරිසිදුකම පිළිබඳ කතාවක් පමණක් නොවේ. එය දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ කසළවලින් පීඩාවට පත් වූ තෙත්බිම් පරිසර පද්ධතියක කතාවකි. දුර්ගන්ධය මැද ජීවත් වූ ජනතාවගේ කතාවකි. තම වාසස්ථාන අහිමිවීමේ අවදානමට මුහුණ දෙන ජලජ ජීවීන්ගේ කතාවකි. එසේම, නවීන තාක්ෂණය හඳුන්වා දෙමින් හරිත සංක්‍රාන්තියක් කරා යාමට ගත් උත්සාහයකදී සැලසුම්කරණයේදී, ක්‍රියාත්මක කිරීමේදී සහ වගවීමේදී මඟහැරුණු මූලික අවශ්‍යතා පිළිබඳ කතාවකි.

හරිත සංක්‍රාන්තිය යනු පරිසර දූෂණය හා කාබන් විමෝචනය අඩු කරමින්, සම්පත් නැවත භාවිත කරන, කසළ අවම කරන සහ පරිසරය ආරක්ෂා කරන ආර්ථික හා සමාජ ක්‍රමයකට මාරුවීමයි. එහෙත් එම වෙනස කම්කරුවන්ගේ රැකියා, ආදායම් සහ අයිතිවාසිකම් අහිමි කරමින් සිදු නොවිය යුතුය.

කවෂිමා ව්‍යාපෘතිය හරිත සංක්‍රාන්තියට සම්බන්ධ වන්නේ කාබනික කසළ කොම්පෝස්ට් බවට පත් කර, කසළ ගොඩගැසීම අඩු කර සම්පත් නැවත භාවිතයට ගැනීමේ අරමුණ හරහාය. එම ක්‍රියාවලිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් පරිසර දූෂණය අවම කර මහමෝදර ජලාශය ඇතුළු තෙත්බිම ආරක්ෂා කිරීමට දායක විය හැකි අතර, එය යන්ත්‍රයක් මිලදී ගැනීමකට වඩා පුළුල් පාරිසරික හා සමාජීය වගකීමක් ද වේ.

කසළ අර්බුදයට තාක්ෂණික විසඳුමක් ලෙස ජපානයේ කවෂිමා සමාගමේ කොම්පෝස්ට් යන්ත්‍රයක් 2019 වර්ෂයේදී හීන්පැන්දල පරිශ්‍රයේ සවිකෙරුණු අතර එහි මෙහෙයුම් 2023 පෙබරවාරි මාසයේදී ආරම්භ විය. කාබනික කසළ කලවම් කර වාතනය කිරීමෙන් ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය වේගවත් කර දිරාපත්වීම පහසු කිරීම යන්ත්‍රයේ අරමුණයි. කෙසේ වුවද විගණන වාර්තාව සඳහන් කරන්නේ 2024 වසර අවසන් වන විටත් විධිමත් කසළ නිෂ්පාදනයක් සිදුවී නොමැති බවයි.

මෙයට පිළිතුරු දෙමින් නාගරික කොමසාරිස් ආර්. එම්. ටී. කේ. රස්නායක මහත්මිය පැවසූයේ,

“ යන්ත්‍රයෙන් දින 30ක් පුරා කළවම් කිරීමෙන් පසු අර්ධ වශයෙන් දිරාපත් වන ද්‍රව්‍ය කොම්පෝස්ට් බවට පත්වීම සඳහා තවත් දින 15ක් වෙනම ස්ථානයක තබා පරිණත කළ යුතුයි. එහෙත් ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ සහිත ගොඩනැගිල්ලක් හීන්පැන්දල පරිශ්‍රයේ නොතිබීම නිසා එම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි වුණා.”

අධික වර්ෂාපතනය පවතින කාලවලදී වියලීමට කල් ගතවීමද නාගරික කසළ වල ශාකමය ද්‍රව්‍ය වලට වඩා තෙතමනය අධික ඉඳුල් වැඩිපුර තිබීමද හේතුවෙන් මෙම ක්‍රියාවලිය අසාර්ථක වූ බව ඇය වැඩිදුරටත් පවසයි.

ඒ අනුව නිපදවූයේ අර්ධ වශයෙන් දිරාපත් වූ ද්‍රව්‍ය පමණක් බැවින් ඒවා අලෙවි කිරීමට නොහැකි වූ නමුත් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට අවශ්‍යවූ නිසා පොල් වතු වැනි වගා සඳහා නොමිලයේ ලබාදී ඇත.

මෙහිදී මතුවන මූලික ප්‍රශ්නය වන්නේ කවෂිමා යන්ත්‍රය ස්ථාපනය කිරීමට පෙර එයට අවශ්‍ය කසළ සංයුතිය, දෛනිකව වෙන්කරගත හැකි කාබනික කසළ ප්‍රමාණය, අර්ධ කොම්පෝස්ට් පරිණත කිරීමේ ඉඩකඩ සහ අපජලය පිරිපහදු කිරීමේ පහසුකම් පිළිබඳව ප්‍රමාණවත් සැලසුමක් සකස් කර තිබුණේද යන්නයි.

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ජාතික විගණන කාර්යාලයෙන් ලබාගත් විගණන වාර්තා පරීක්ෂා කිරීමේදී කවෂිමා ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ගැටලු වසර කිහිපයක් තිස්සේ මතු වී ඇති බව පෙනේ.

2024 වර්ෂයේ විගණන වාර්තාවේ ව්‍යාපෘති පිරිවැය රුපියල් මිලියන 244.19ක් ලෙස සඳහන් වේ. මෙහෙයුම් කටයුතු 2023 වසරේ ආරම්භ කර තිබුණ ද, 2024 වසර අවසන් වන විටත් විධිමත් කසළ කළමනාකරණයක් සහ අපේක්ෂිත කොම්පෝස්ට් නිෂ්පාදනයක් සිදු නොවීම පිළිබඳව එම වාර්තාවේ අවධානය යොමු කර තිබේ.

මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ විශාල මුදලක් වැය කර ව්‍යාපෘතියක් ස්ථාපනය කළ පසු එය අපේක්ෂිත ප්‍රතිඵල ලබාදීමට නොහැකි වූයේ ඇයිද යන්නයි.

විගණන වාර්තාවල සඳහන් වන තවත් වැදගත් කරුණක් වන්නේ කසළ අංගනය සඳහා භාවිත කරන භූමියේ නීත්‍යනුකූල අයිතිය සම්බන්ධ ගැටලුවයි. නාගරික කොමසාරිස්වරිය පවසන්නේ මෙම ඉඩම රජයට අයත් ඉඩමක් වුවත් විධිමත් ලෙස ගාල්ල නගර සභාවට පවරාගැනීමට නොහැකි වූ බවයි. එමෙන්ම හීන්පැන්දල පරිශ්‍රය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන නොතිබූ බව ද ඇය පිළිගනී.

විගණන වාර්තාවේ සඳහන් රුපියල් 44,492ක මුදල අපජල පිරිපහදු පද්ධතියක් ඉදිකිරීම සඳහා වැය කළ මුදලක් නොව, පිරිපහදු ක්‍රමවේදයක් පිළිබඳ වාර්තාවක් සකස් කිරීම සඳහා සාම්පල ලබාගැනීමට පැමිණි තාක්ෂණික කණ්ඩායමේ ප්‍රවාහන වියදම බව ඇය පවසයි. කෙසේවුවද එම වාර්තාව සකස් කිරීමට වැයවන රුපියල් ලක්ෂ 40කට අධික උපදේශන ගාස්තුව දැරීමට නගර සභාවට නොහැකි වීම හේතුවෙන් එම කටයුතු එතැනින්ම නතර වී ඇත.

පාරිසරික වශයෙන් සංවේදී භූමියක දීර්ඝ කාලයක් කසළ බැහැර කිරීම සඳහා ඉඩම භාවිත කිරීමේ නීත්‍යනුකූල පදනම, පරිසර බලපත්‍රය සහ අපජලය පිරිපහදු කිරීමේ පහසුකම් යන කරුණු ව්‍යාපෘතිය ආරම්භයේදීම විසඳා තිබිය යුතු මූලික අවශ්‍යතා වේ. ඒවා සම්පූර්ණ නොවීම, ව්‍යාපෘතියක බරපතළ සැලසුම්කරණ ගැටලුවක් ලෙස සැලකිය හැකිය.

හීන්පැන්දල කසළ අංගනය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් වූයේ දුර්ගන්ධයයි. විවෘතව ගොඩගසා තිබූ මිශ්‍ර කසළවලින් නිකුත් වන දුර්ගන්ධය අවට ජනාවාසවලට පැතිරීම නිසා එදිනෙදා ජීවිතයට බලපෑම් ඇතිවූ බවට පැමිණිලි ඉදිරිපත් වී තිබේ.

කසළ අංගනය ආසන්නයේ පදිංචිකරුවකු වන රවීන් ඉන්දීවර මෙසේ පවසයි,             

“අවුරුදු විසිපහක් විතර තිස්සේ නගර සභාව මෙතැනට කුණු දානවා. ඉස්සර මෙතැන කඩොලාන තිබුණා, කුරුල්ලෝ ගොඩක් හිටියා. ඒ නිසාම පාසල් ළමයි කුරුල්ලෝ බලන්නත් මෙතැනට එක්කගෙන ආවා. කුණු දාන්න පටන් ගත්තට පස්සේ ඒ පරිසරය විනාශ වුණා. 2004 සුනාමිය වෙලාවේ කුණු කන්දේ තිබුණු පොලිතීන්, ප්ලාස්ටික් ගහගෙන ඇවිල්ලා නැවතුනේ අපේ වතුවල. කුණු ගඳ, මැස්සෝ, මදුරුවෝ නිසා අපිට ජීවත් වෙන්න බැරි තරම් ගැටලු ආවා. හැම ගෙදරකම ලෙඩ රෝග වැඩිවුණා. කුණු දාන එක නතර කරන්න අපි නඩු ගියාට පස්සේ පසුගිය මැයි මාසයේදී මේ ස්ථානයට කුණු දාන එක තහනම් කළා. දැන් කුණු දාන්නේ නැති වුණත්, පරණ කුණු කන්ද තවමත් එහෙමම තියෙනවා. ඒක ගඟ පැත්තට ටිකෙන් ටික කඩා වැටෙනවා. කොම්පෝස්ට් හදන්න කියලා මිලියන ගණනක් වියදම් කරලා යන්ත්‍රයක් ගෙනාවත්, ඒකෙන් අපේක්ෂා කළ විදිහට කොම්පෝස්ට් හැදුණේ නැහැ. මේවට වැයවුණේ අපේම සල්ලි.”

ස්ථාන නිරීක්ෂණයේදී ද දක්නට ලැබුණේ ගඟ ආසන්නයේම ගොඩගසා ඇති කසළ කන්ද ගඟට කඩා වැටී ඇති ආකාරයයි.

පරිසරවේදියෙකු මෙන්ම කසළ අංගනය පිහිටි හීන්පැන්දල ප්‍රදේශයේම පදිංචිකරුවකු වන හේමන්ත සෙනවිරත්න මහතා පවසන්නේ, මෙය ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට පමණක් නොව ගාල්ලේ සංචාරක කර්මාන්තයට ද අහිතකර ලෙස බලපාන බවයි,

“ගාල්ල සංචාරක නගරයක්. මේ පාරේ සංචාරකයන් දහස් ගණනක් ගමන් කරනවා. මහමෝදර පාලම උඩින් යන ඕනෑම කෙනෙකුට මේ කුණු ගොඩ පේනවා. ගඟේ සංචාරක කර්මාන්තයේ යෙදෙන අය බෝට්ටුවලින් සංචාරකයන් එක්කගෙන යනවා. දුර්ගන්ධය සහ කුණු කන්දේ දර්ශනය සංචාරක කර්මාන්තයෙන් දියුණු වන නගරයකට ගැළපෙන්නේ නැහැ.”

සංචාරක බෝට්ටු හිමිකරුවකු වන මධුශංක මහතා මෙසේ පැවසීය,

“බෝට්ටු හිමිකරුවන් හතරදෙනෙක් විතර මේ අවට ඉන්නවා. මගෙත් බෝට්ටු තියෙනවා. ඒ දවස්වල මෙතන නගර සභාවෙන් කුණු දාද්දි කෙලින්ම කුණු ට්‍රැක්ටරේ ගඟට හලනවා. අපි බෝට්ටුවෙන් එනවා කියලවත් ඔවුන්ට ගානක් නැහැ. අපිත් එක්ක යන විදේශිකයන් අපෙන් අහනවා මේ වගේ කඩොලාන තියෙන සුන්දර පරිසරයක කුණු දාන්නේ ඇයි කියලා, සමහර සංචාරක සමාගම් වලින් මේ පරිසරය බලන්න එනවා, කුණු කන්ද දැක්කම ඔවුන් අපට සංචාරකයෝ එවන්න කැමති වෙන්නේ නැහැ. වහින කාලෙට කුණු කන්ද හේදිලා කළුපාට තීරුවක් වගේ ගඟ දිගේ ගලාගෙන යනවා, මාළු මැරිලා පාවෙනවා. මුහුද පැත්තට හුළං හමන කොට තවමක් ගඳ එනවා. සමහර විශාල ව්‍යාපාරිකයිනුත් ගඟට තැන් තැන් වලින් කුණු දානවා. අපි මේ ගඟට බෝට්ටු දාලා තිබුනේ නැත්නම් මේක තනිකර කුණු ඇලක් වෙලා.”

හීන්පැන්දල කසළ අංගනයේ තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ වැසි ජලය කසළ ගොඩ හරහා ගලා යාමේදී එහි ඇති ද්‍රව්‍ය දියවී පරිසරයට එක්වීමයි. කසළ ගොඩක් තුළින් ගලා යන ජලය කාබනික ද්‍රව්‍ය, රසායනික සංයෝග සහ වෙනත් දූෂක ද්‍රව්‍ය රැගෙන යා හැකිය. මෙවැනි ජලය කසළ කාන්දුවීමේ ද්‍රවය හෙවත් ලීචේට් (Leachate) ලෙස හැඳින්වේ. එය නිසි ලෙස එකතු කර පිරිපහදු නොකළහොත් අවට පසට, භූගත ජලයට සහ ඇළ දොළවලට එක්වීමේ අවදානමක් පවතී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නාගරික හා ජලජ ජෛව සම්පත් පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කුමුදු බණ්ඩාර මහත්මිය පවසන්නේ හීන්පැන්දල කසළ අංගනයෙන් පිටවන ලීචේට් අවට ජල මූලාශ්‍රවලට එක්වීම වැළැක්වීමට ආරක්ෂිත බිම් ආවරණ පද්ධතියක් සහ එම දියරය එකතු කර පිරිපහදු කිරීමේ ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවයි. ගිං ගඟ, කැප්පූ ඇළ සහ මහමෝදර ජලාශයේ ජලයේ ගුණාත්මකභාවය නිරන්තරයෙන් පරීක්ෂා කර, රසායනික ද්‍රව්‍ය, බැර ලෝහ සහ රෝගකාරක ක්ෂුද්‍රජීවීන් පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණ සිදුකළ යුතු බවද ඇය සඳහන් කළාය.

මෙම තෙත්බිම් පද්ධතිය ජලජ ජීවීන්ටත්, ඒ මත යැපෙන ජනතාවගේ ජීවනෝපායටත් වැදගත් බැවින්, එය ආරක්ෂා කිරීම සියලු අදාළ ආයතනවල වගකීමක් බවද ආචාර්ය කුමුදු බණ්ඩාර මහත්මිය පැවසුවාය.

මෙහි බලපෑම කසළ අංගනයේ සීමාවෙන් අවසන් වන්නේ නැත. ජලය සමඟ ගලා යන දූෂක ද්‍රව්‍ය ජලජ ජීවීන්ගේ වාසස්ථානවලට එක්විය හැකි අතර, ඒවා ආහාර දාමයට ඇතුළුවීමේ අවදානමක් ද පවතී. බරපතලම කාරණාව වන්නේ දශක ගනනාවක් තිස්සේ සංවේදී පරිසරයක කසළ ගොඩගැසූවද අපජල පද්ධතිය ඉදිකිරීමට නගර සභාව අපොහොසත් වීමයි.

හේමන්ත මහතා පෙන්වා දෙන්නේ මෙම ස්ථානයේ කසළ ගොඩගැසීමෙන් සිදුවන හානිය තෙත්බිම් පරිසර පද්ධතියේ ජීවීන්ගේ පැවැත්මට සෘජුවම බලපාන බවයි.

“මේක ගිං ගඟ, කැප්පූ ඇළ සහ මහමෝදර ජලාශය ආශ්‍රිත කඩොලාන සහිත සුවිශේෂී තෙත්බිම් පරිසර පද්ධතියක්. මේ පරිසර පද්ධතියේ කකුළුවන් විශේෂ ඉන්නවා. ඔවුන් පොළොව යට ගුල් හදාගෙන ජීවත් වෙනවා. බෙල්ලන් සහ මට්ටි විශේෂ ඉන්නවා. කසළ ගොඩගැසීමෙන් ඔවුන්ගේ වාසස්ථාන සම්පූර්ණයෙන්ම වැසී යනවා. කසළවලින් නිකුත් වන දූෂක ද්‍රව්‍ය ගඟටත් එකතු වෙලා ආහාර දාම දිගේ මිනිසුන්ටත් සතුන්ටත් පැමිණීමේ අවදානමක් තිබෙනවා. මාළු සහ වෙනත් ජලජ සතුන් ජීවත් වන සංවේදී පරිසරයක කසළ දැමීම විශාල ගැටලුවක්.”

මහමෝදර, සියඹලාගහවත්ත පදිංචි ධීවර කාර්මිකයෙකු වන ආර් පී විජේතුංග මහතා මෙසේ පවසයි,    

“මම මේ ගඟෙන් දවසට මාළු කිලෝ 25, 30 අල්ලලා තියෙනවා. ඉස්සො කකුළුවොත් අල්ලලා හොඳ ආදායමක් ගත්තා. දැන් මාළු කිලෝ එකක් දෙකක්වත් අල්ලන්න බෑ.  කුණු කන්ද නිසා වතුර විෂ වෙලා මාළු බෝවීම හොඳටම අඩු වුණා. ජපන් ජබර වලින් ගඟ වැහිලා නිසා බෝට්ටු දාන්න බැහැ, කුණු වලින් ගඟ ගොඩවෙලා. දැල ගැහුවහම එන්නේ මාළු නෙවෙයි, පෙඳ පාසි. මේ ගඟේ විතරක් මාළු අල්ලලා ජීවන් වෙන පවුල් හත අටක් ඉන්නවා. ඒ හැමෝටම දැන් රස්සාව නැතිවෙලා. මේ ආදායමෙන් පස් දෙනෙක් ඉන්න අපේ පවුලම ජීවත් වුණා. දැන් පුතාලා තමයි අපිට වියදම දෙන්නේ.”

ගඟ පහළ ප්‍රදේශවල පලා වර්ග එකතු කිරීම සහ එළවළු වගාව මත යැපෙන ජනතාවගේ ජීවනෝපාය ද මෙම පරිසර පද්ධතිය සමඟ බැඳී පවතී. එබැවින් ජල දූෂණය පරිසරයට පමණක් නොව ආහාර සුරක්ෂිතතාවට සහ ජනතාවගේ ආදායම් මාර්ගවලට ද තර්ජනයකි.

කසළ කන්ද ආශ්‍රිතව මීයන්, වීදි සුනඛයන්, කබරයන් සහ සර්පයන් බහුල වීම ආහාර දාමයට හා ස්වාභාවික සමතුලිතතාවයට බලපෑ හැකිය. එමෙන්ම පර්යටන පක්ෂීන් ඇතුළු විවිධ පක්ෂීන් සහ සතුන් වාසය කරන මෙම නාගරික පරිසර පද්ධතිය ජෛව විවිධත්වය අතින් ද වැදගත් බව හේමන්ත මහතා පෙන්වා දෙයි.

හීන්පැන්දල කසළ අංගනය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ඉදිරිපත් කළ මහජන පීඩා පැමිණිලි ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 70792 යටතේ විභාග කෙරිණ. 2025 අප්‍රේල් 9 වැනිදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවට අනුව, කසළවලින් පිටවන අපද්‍රව්‍ය සහිත දියර ගොඩබිමට හා මහමෝදර ඇළට එක්වීමෙන් ජලය භාවිතයට නුසුදුසු තත්ත්වයක් ඇතිවී තිබූ බව සඳහන් කර ඇත. එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ දුර්ගන්ධය, මදුරුවන් හා මැස්සන් බෝවීම සහ දූෂිත ජලය හේතුවෙන් ආසාත්මිකතා, ශ්වසන හා ජලය ආශ්‍රිත රෝග පැතිරීමේ අවදානමක් පවතින බවයි.

ඒ අනුව 2026 මැයි 25 වැනිදා අධිකරණය කසළ අංගනය ආවරණය කිරීම, ඇළෙන් අවශ්‍ය දුර පවත්වා ගැනීම, අපජලය පිරිපහදු කිරීමේ පද්ධතියක් සකස් කිරීම සහ කොම්පෝස්ට් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම ඇතුළු කොන්දේසි ගණනාවක් පනවා තිබේ. මාස තුනක් ඇතුලත ඒවා සම්පූර්ණ නොකළහොත් එම ස්ථානයට කසළ ගෙන ඒම තහනම් වන බව ද නියෝග කර ඇත.

කෙසේ වෙතත්, නාගරික කොමසාරිස්වරිය පවසන්නේ ටෙන්ඩර් ක්‍රියාවලියේ ගැටලු සහ වෙනත් ප්‍රායෝගික ගැටලු හේතුවෙන් එම කොන්දේසි මාස තුනක් ඇතුලත සම්පූර්ණ කිරීමට නොහැකි වූ බවයි.

මේ අනුව මාස තුනක් ගතවීමෙන් පසු අධිකරණ නියෝගය ක්‍රියාත්මක වූ අතර නගර සභාවට කුණු දැමීම නැවැත්වීමට සිදුවිය. දුර්ඝන්ධය සහ මැසි මදුරු කරදර ද යන්ත්‍ර වලින් නිකුත් වන අධික ශබ්දය ද අඩුවී ගියේය. දැවැන්ත කසළ කන්ද කංකුන් වැනි වැල් වලින් වැසී ගියේය. මාස හයකට පසු මේ වනවිට එතැන කසළ කන්දක් තිබෙන බවක් වත් හඳුනාගත නොහැකිය. එහෙත් මිලියන ගනනක් ආයෝජනය කළ දැවැන්ත කවෂිමා යන්ත්‍රය කිසිම පලප්‍රයෝජනයක් නොමැතිව දිනෙන් දින දිරා යමින් පවතී.

නාගරික කොමසාරිස්වරිය පවසන්නේ අධිකරණය මගින් 2026 මැයි මාසයේ ලබාදුන් ස්ථිර තහනම් නියෝගය හේතුවෙන්  දැනට හීන්පැන්දල පරිශ්‍රය වසා දමා ඇති බවයි. පැරණි කසළ ගොඩ ඉවත් කිරීම සහ එම ස්ථානයේ අනාගත භාවිතයත් කවෂිමා යන්ත්‍රය සහ බේල් යන්ත්‍රය ඇතුළු පරිශ්‍රයේ ඇති යන්ත්‍ර වලට සිදුකරන්නේ කුමක්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නගර සභා මන්ත්‍රීවරුන් පස්දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බවයි. නමුත්, එම කමිටුව තවමත් රැස්වී නොමැති බව ඇය පවසයි. කවෂිමා යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය සතියකට වරක් පරීක්ෂා කරන බවද දැනට එය ක්‍රියාකාරී තත්ත්වගේ පවතින බවද ඇය පැවසුවාය.

කසළ අංගනයේ සේවය කළ ස්ථිර කම්කරුවන්ගේ රැකියා අහිමි නොවූ බවත්, ඔවුන් වෙනත් කසළ කළමනාකරණ මධ්‍යස්ථානයකට යොමු කර ඇති බවත් කොමසාරිස්වරිය පැහැදිලි කළාය. සේවකයන් සඳහා සෞඛ්‍ය සායන පැවැත්වීම, ආරක්ෂිත උපකරණ ලබාදීම සහ පෞද්ගලික පිරිසිදුකම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සිදුකරන බව ද ඇය සඳහන් කරයි.

කෙසේ වෙතත්, හීන්පැන්දල පරිශ්‍රයේ සේවය කර ඇත්තේ පිරිමි සේවකයන් පමණි. එහි කාර්යය දුෂ්කර බැවින් කාන්තා සේවිකාවන් යොදවා නොගත් බව කොමසාරිස්වරිය පවසයි. කෙසේවුවද කසළ කළමනාකරණ ක්‍රියාවලිය යටතේ නාගරික බල ප්‍රදේශයේ පිරිසිදු කිරීම් සිදුකිරීම සඳහා කාන්තාවන් දෙදෙනකු යොදවා සිටින බව ඇය පැවසුවාය.

නගර සභා කම්කරුවෙකු පැවසුවේ තමන් වසර ගනනාවකට පෙර හීන්පැන්දල කසළ මධ්‍යස්ථානයේ සේවය කළ බවයි.

“දැනට අවුරුදු 15කට විතර කළින් මම ඔතන වැඩ කළේ, ඒ කාලෙ නම් හොඳට කොම්පෝස්ට් හැදුවා. අපි ගාල්ලේ කඩයක් දාලා කොම්පෝස්ට් විකිණුවා. ඔය මැෂින් එක ගෙනාවට පස්සේ නම් මොනවා උනාද කියලා මම දනිනේ නැහැ. මම දැන් ගාල්ල නගරයේ පිරිසිදු කිරීම් කරන්නේ, අපිට අත්වැසුම්, බූට්ස්, සබන් වගේ සෞඛ්‍ය ආරක්ෂිත දේවල් නගර සභාවෙන් ලැබෙනවා. ආදායම තමයි මදි, ඒ පඩියෙන් ජීවත් වෙන්න අමාරුයි.”

රැකියාවට බලපෑම් ඇතිවේයැයි බිය හේතුවෙන් නම සඳහන් නොකරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

හරිත සංක්‍රාන්තියක් යනු පරිසරයට හානි අවම කිරීම පමණක් නොවේ. එය සාධාරණ රැකියා අවස්ථා, සේවක ආරක්ෂාව සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ද ඇතුළත් ක්‍රියාවලියකි. කසළ කළමනාකරණයේ නව ක්‍රමවේද සකස් කිරීමේදී කාන්තාවන්ට ද ආරක්ෂිත සහ සුදුසු රැකියා අවස්ථා ලබාදිය හැකි ආකාරය සලකා බැලීම වැදගත්ය.

මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් අධ්‍යක්ෂකවරිය පවසන්නේ මෙය ගාල්ලේ ප්‍රධානම ගැටලුව ලෙස සඳහන් කර අදාල ආයතන සමග සාකච්ඡාකර විසඳුමක් ලබා ගැනීම සඳහා ලිපිගොනුව ප්‍රධාන කාර්යාලයට යොමුකර ඇති බවයි.

“මේක විශාල ගැටලුවක්, අපිට තනිවම විසඳන්න බැහැ. ජාතික මට්ටමින් වැඩපිළිවෙලක් අවශ්‍යයි. අවසාන වරට අපි මහමෝදර කළපුවේ කරපු පරීක්ෂණ වලින් තහවුරු වුනේ එහි ජලය ඉතාමත් දූෂිත තත්ත්වයේ පවතින බවයි. පරිසරයට තව හානි සිදුවෙන්න කළින් ඉක්මන් විසඳුමකට යා යුතුයි.”

හේමන්ත මහතා ද පෙන්වා දෙන්නේ හීන්පැන්දල කසළ කන්ද ඉවත් කර පරිසරය නැවත ගොඩනැගීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බවයි. ඒ සඳහා කසළ කන්ද පරිසර සංවේදී බවින් අඩු ස්ථානයකට ගෙන යාමත්, කවාෂිමා යන්ත්‍රය වෙනත් සුදුසු ස්ථානයක ප්‍රයෝජනයට ගැනීමත් ඔහු නිර්දේශ කරයි. කසළ කන්ද වැසෙන පරිදි ශාක සිටුවීම විකල්පයක් වුවද, කඩොලාන පරිසරයට හානි නොවන තෙත් කලාපයට ගැළපෙන ශාක තෝරාගැනීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කරයි.

එමෙන්ම මහමෝදර කලපුවේ ජලයේ ගුණාත්මකභාවය සහ දූෂණ තත්ත්වය පිළිබඳව විශ්වවිද්‍යාල මට්ටමින් විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකිරීම ද ඔහුගේ නිර්දේශයකි. එවැනි පර්යේෂණයකින් ලැබෙන දත්ත පරිසරය යථා තත්ත්වයට පත්කිරීමේ සැලසුම් සකස් කිරීමට අත්‍යවශ්‍ය වනු ඇත.

හීන්පැන්දල කවෂිමා ව්‍යාපෘතියෙන් මතුවන පාඩම වන්නේ නවීන තාක්ෂණය හඳුන්වාදීම පමණක් පරිසර හිතකාමී සංවර්ධනයක් සහතික නොකරන බවයි. එවැනි ව්‍යාපෘතියක් සාර්ථක වීමට නම් ආරම්භයේ සිටම භූමියේ නීත්‍යනුකූලභාවය, පරිසර බලපත්‍ර, කසළ වෙන්කිරීම, නිසි කසළ සංයුතිය, යන්ත්‍රයට ගැළපෙන ධාරිතාව, අපජල පිරිපහදු පද්ධති, අවශ්‍ය ඉඩකඩ සහ දිගුකාලීන නඩත්තු වියදම් පිළිබඳව සැලසුම් කළ යුතුය.

Related articles

spot_img
error: Content is protected !!