27.9 C
Galle

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කරයි

Published:

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය (President Media Centre) ජනාධිපති උපදේශක ලලිත් වීරතුංගගේ සහභාගීත්වයෙන් අද (29) විවෘත කෙරිණි.

කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටි චාර්ටඩ් බැංකු ගොඩනැගිල්ලේ බිම් මහලේ මෙම මාධ්‍ය කේන්ද්‍රය ස්ථාපිත කර තිබේ. එම ගොඩනැගිල්ලේ මීට පෙර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යන ජනාධිපති මාධ්‍ය ඒකකය ද ස්ථාපිත කර තිබිණි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති කරුණු යථාර්ථයක් කිරීමට ගෙන යන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය, ජනාධිපතිතුමාගේ සහ ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිවැරදිව හා කාර්යක්ෂමව මාධ්‍යයට සහ ජනතාවට ලබාදීම ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ස්ථාපිත කිරීමේ අරමුණයි.

මෙහි පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා මාධ්‍යවේදීන් 40 දෙනකුට අසුන් ගැනීමේ පහසුකම් සහ ඔවුන්ට අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණ ද සහිතව මෙය නිර්මාණය කර ඇත.

මෙහි සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී තෝරාගන්නා මාතෘකාවන් තුළ ජනාධිපතිවරයාගෙන්, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් සෘජුව හෝ ඔන්ලයින් ක්‍රමයට ප්‍රශ්න විමසීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව සැළසෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසයි.

Related articles

spot_img
error: Content is protected !!