28 C
Galle

මීටියාගොඩ පොලිසිය හික්කඩුව ජනතාවගේ කන් පලයි. දෙයියන්ට බය වී නීතිය අමතක වෙලා

Published:

හික්කඩුවේ සීනිගම දේවාලයේ පැවැත්වෙන ආගමික උත්සවයක් සඳහා යැයි පවසමින් සීනිගම දේවාල අවට සහ එම ස්ථානයේ සිට හික්කඩුව නගරය දක්වාත් අද (01) සවස සිට ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගය පුරා නීති විරෝධී ලෙස ඇද තිබේ.

මේ පිළිබඳ මීටියාගොඩ පොලිසියෙන් විමසූ විට එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ මෙම ශබ්ද විකාශනය සඳහා බලපත්‍රයක් ලබා දී ඇති බවයි.

නමුත් එවැනි බලපත්‍රයක් ලබා දීමට පොලිසියට හැකියාවක් තිබේ ද යන්න ගැටලුවකි. එවැනි බලපත්‍රයක් ලබා දී ඇත්නම් එය නීති විරෝධීය.

2007 වර්ෂයේ මූලිික අයිතිවාසිකම් ඉල්ලුම් පත්‍ර 38/05 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවට අනුව සැකසූ 2031/2007 දරන පොලිස්පති චක්‍රලේඛයේ ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා බලපත්‍ර ලබාදීම පිළිබඳ පැහැදිලිව දක්වා ඇත. එමනේම පොලිසිය සතුව ඇති ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීමේ අයදුම් පත්‍රයේ ද ඒ සඳහා නියමිත කොන්දේසි සඳහන් කර තිබේ.

එම කොන්දේසි අතර (ඉ) යනුවෙන් සඳහන් කොන්දේසියේ පැහැදිලිව දක්වා ඇත්තේ ශබ්ද විකාශන බලපත්‍රයක් පුද්ගලික ඉඩමකට මිස පොදු මහා මාර්ගයේ භාවිතය සඳහා ලබාදිය නොහැකි බවයි.

පොලිස්පතිවරයාගේ 2031/2007 චක්‍රලේඛය අනුව කිසිම ස්ථානයක ශබ්ද විකාශනයක් කරන්නේ නම් එය අදාල පරිශ්‍රයෙන් පිටතට නොඇසිය යුතුය. එමනේම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ මෙසේ ද දැක්වේ.

“කිසිම ආගමක් අනුන්ගේ සාමයට බාධා කිරීමක් හෝ දේශනා කිරීමක් කරන්නේ නැත. ආගමේ නාමයෙන් ශිෂ්ඨ සම්පන්න සමාජයකට බාධා කරන ක්‍රියාකාරකම් හිමිදිරියේ හෝ දිවා කාලයේ දී හෝ නිදා සිටින විට දී හෝ දරුවන් හෝ වෙනත් අයගේ කටයුතු කරගෙගන යාමට බාධාවක් විය නොහැක. අසල්වැසි ජනතාවට ඔවුන්ගේ ස්වභාවික අයිතිය භුක්ති විඳීමට අයිතියක් ඇත. පූජනීය යැයි කියන සූත්‍ර සජ්ජායනාවට සහ පරිසරයේ නිශ්චලතාවයට බාධා කිරීම, එවැනි ගායනයකට හෝ දේශනයකට හෝ ස්ජ්ජායනාවකට සම්බන්ධ නොවන පුද්ගලයන්ගේ කන් මත එය බලෙන් පැටවීම ආගම්වල උගන්වා නැත.”‍

එමෙන් ම රාත්‍රී 10.00න් පසු කිසියම් ස්ථානයක ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කිරීම සඳහා මේ බලපත්‍රයක් ලබා දී ඇත්නම් ඒ පිළිබඳ ළඟම ඇති අධිකරණයට වාර්තා කළ යුතු බව ද පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයේ පැහැදිළිව සඳහන් කර ඇත.

මෙම බලපත්‍රය ලබාදීමේ දී අධිකරණයට එලෙස කරුණු වාර්තා කර නැතැයි මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා කීවේය.

එසේ නම් පොලිසිය සිදුකර ඇත්තේ පොලිස්පතිවරයාගේ නියෝග කඩ කරමින් රාජකාරී පැහැර හැරීමක් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝග නෙනාතකාහරිමින් අධිිකරණයට අපහාස කිරීමකි.

Related articles

error: Content is protected !!