30.8 C
Galle

තිලීපන් පිළිරුව ඉවත් කිරීමෙන් මතුවන පශ්චාත් යුද සමාජය සහ අනුස්මරණ අයිතිය අතර පවතින ගැඹුරු රේඛාව

Published:

අමල්ෂි ගමගේ විසිනි

දශක තුනක බියකරු යුද්ධයේ අඳුරු ස්මරණයන් තවමත් සමාජයේ මතකයෙන් බැහැරව නොමැති වාතාවරණයක, යාපනය නල්ලූර් ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු යාපනය සන්නද්ධ අංශ නායක රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන්ගේ පිළිරුව අධිකරණ නියෝගයකට අනුව පොලිසිය විසින් ඉවත් කිරීමත් සමග ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

මෙම සිදුවීම හුදෙක් නීති විරෝධී ඉදිකිරීමක් ඉවත් කිරීමට එහා ගිය, ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමය තුළ නීතියේ ආධිපත්‍යය, සංකේතාත්මක අනුස්මරණ අයිතිය, ජාතික ආරක්ෂාව සහ ජාතික සංහිඳියාව අතර පවතින සංකීර්ණ සප්‍රමාණතාව නැවතත් පරීක්ෂාවට ලක් කළ ගැඹුරු සමාජ-දේශපාලන සංවාදයක් බවට පත්ව ඇත.

​පුවත්පත් වාර්තාවලට අනුව, සැප්තැම්බර් 15 වන දින නල්ලූර්හි පිහිටි තිලීපන් ස්මාරකය අසල මෙම ලෝකඩ පිළිරුව ස්ථාපනය කර ඇති අතර, යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට නගරය හරහා පැමිණි සිසුන් ඇතුළු පිරිසක් සහ ප්‍රදේශවාසීන් එක්ව දින 15කට ආසන්න කාලයක් අනුස්මරණ වැඩසටහන් පවත්වා ඇත. පසුගිය සැප්තැම්බර් 18 වන දින පොලිසිය මගින් එහි සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර ඉවත් කිරීමට කටයුතු කළ අතර, ඉන් අනතුරුව සැප්තැම්බර් 27 වන ඉරිදා අලුයම කාලයේදී පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට වැඩි පිරිසක් පැමිණ අදාළ පිළිරුව ඉවත් කර රැගෙන ගොස් තිබේ.

තහනම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයෙකු ප්‍රසිද්ධියේ මහිමයට නැංවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම රටේ විවිධ පාර්ශ්වවලින් දැඩි විරෝධයක් එල්ල වූ අතර, අදාළ ඉදිකිරීම ඉවත් කිරීමට පොලිසියේ මැදිහත්වීම සිදුවූයේ එකී පසුබිම තුළය.

පොලිසිය සපත්තු පිටින් එම ස්ථානයට ඇතුළු වී බලහත්කාරයෙන් පිළිරුව ගෙන ගිය බවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා චෝදනා කරන අතර, යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ඩී. එස්. යසමහ මහතා සඳහන් කරන්නේ මහජන පැමිණිලි සලකා බලා අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව නීත්‍යානුකූලව මෙම ඉවත් කිරීම සිදුකළ බවයි.

පිළිරුව ඉවත් කිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ දේශපාලන හා සමාජීය වශයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය විය.

කෙසේ වෙතත්, පිළිරුව ඉවත් කිරීමට එරෙහිව ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ සිවිල් සංවිධාන නල්ලූර්හිදී විරෝධතාවල නිරත වූ අතර, පිළිරුව රැගෙන ගිය ස්ථානයේ ප්‍රදේශවාසීන් නැවතත් මල් පහන් තබා අනුස්මරණ කටයුතු සිදුකිරීමට පියවර ගෙන තිබිණි.

නීතිමය සහ පාලනමය කෝණයෙන් බලන කල, මෙම සිදුවීම තුළ මූලික නීති රෙගුලාසි කිහිපයක් එකිනෙක ඡේදනය වේ. පළමුවැන්න නම්, නල්ලූර් නගර සභාවට අයත් පොදු ඉඩමක පූර්ව නීත්‍යානුකූල අනුමැතියකින් තොරව අත්තනෝමතික ලෙස ඉදිකිරීම් සිදුකිරීම නාගරික පාලන නීති උල්ලංඝනය කිරීමකි. දෙවැන්න නම්, තහනම් සංවිධානයක නායකත්ව දැරූ පුද්ගලයෙකු උදෙසා ප්‍රසිද්ධ ස්මාරක හෝ ප්‍රතිමා පිහිටුවීම ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය හා ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති හමුවේ සංවේදී තත්ත්වයක් නිර්මාණය කිරීමයි.

මෙහිදී පොලිසිය විසින් පෞද්ගලික තීරණයකට අනුව ක්‍රියා නොකර, අධිකරණය හමුවේ කරුණු වාර්තා කර උපදෙස් ලබාගනිමින් පියවර ගැනීම නීතියේ ආධිපත්‍යය තහවුරු කෙරෙන යහපත් ප්‍රවණතාවක් ලෙස සැලකිය හැකිය.

සමාජ විද්‍යාත්මක හා ජාතික සංහිඳියා කෝණයෙන් විමසීමේදී, අතීත දරුණු යුද්ධයේ පාඩම් මෙහිදී නැවත මතක් කර දෙයි. එක් පසෙකින්, යුද්ධයෙන් මියගිය තමන්ගේ ඥාතීන් හෝ සංකේත අනුස්මරණය කිරීමට ඇති මානව අයිතිය සහ පෞද්ගලික ශෝකය ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාව දෙමළ සමාජය තුළ පවතී. නමුත් අනෙක් පසින්, එකී අනුස්මරණයන් තහනම් සංවිධානයක සන්නද්ධ අතීතය මහිමයට නැංවීමක් හෝ ජාතික අභිමානයට අභියෝග කිරීමක් බවට පත්වන විට, දකුණේ ජනතාව මෙන්ම යුද වින්දිතයන් තුළ ද දැඩි අනාරක්ෂිතභාවයක් සහ විරෝධයක් නිර්මාණය වේ. පටු දේශපාලන අභිමතාර්ථ උදෙසා අතීත යුද මතකයන් හෝ ජාතිවාදී සටන්පාඨ මෙලෙස නැවත භාවිත කිරීම දීර්ඝකාලීන ජාතික සමගියට සහ සාමයට බාධාවකි.

නල්ලූර් සිදුවීම මගින් අවධාරණය කෙරෙන්නේ පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ නීතියේ ආධිපත්‍යය සැමට සමානව බලපැවැත්වීමේ වැදගත්කමයි. පොදු ඉඩම් නීතිවිරෝධී ලෙස අත්පත් කරගැනීම් වැළැක්වීම සහ ජාතික ආරක්ෂාව සුරැකීම රාජ්‍යයක වගකීම වන අතරම, ජනතාවගේ සංවේදීතාවන් ප්‍රජාතන්ත්‍රවාදී හා නීතිමය රාමුවක් තුළ කළමනාකරණය කර ගැනීම ද අත්‍යවශ්‍ය වේ. ජාති, ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව නීතියේ විනිවිදභාවය සුරැකීම සහ අතීතයේ තුවාල නැවත පෑරීම වෙනුවට නම්‍යශීලී සංවාදයක් ඔස්සේ ඉදිරියට යෑම තුළින් පමණක්ම තිරසාර සංහිඳියාවක් සපථ කරගත හැකිය යන්න අප සැම තේරුම්ගත යුතුය.

Related articles

spot_img
error: Content is protected !!