සමාජ මාධ්‍ය සහ වෙළඳ දැන්වීම් නරඹන විට, කිසිදු කැළලක් නැති, පරිපූර්ණ සිරුරින් සහ රූපයෙන් යුතු මෝස්තර නිරූපිකාවන් අපට නිතර දැකගත හැකිය. නමුත් මේ බොහෝ රූප සැබෑ මිනිසුන්ගේ නොව, කෘතිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කළ “අතථ්‍ය” (Virtual) මෝස්තර නිරූපිකාවන් බව ඔබ දන්නවාද?
තාක්ෂණයේ මෙම දියුණුවත් සමඟ තරුණ තරුණියන්ගේ, විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ මානසිකත්වයට සහ ඔවුන්ගේ සිරුරේ ස්වාභාවික පෙනුම ගැන ඇති ආකල්පවලට (Body Image) බරපතල බලපෑමක් එල්ල වෙමින් පවතින බව විද්වතුන් සහ පර්යේෂකයින් පෙන්වා දෙයි.
19 හැවිරිදි මියා පෙරූමාල් (Mia Perumal) පවසන්නේ, AI මගින් මවනු ලබන මෙවැනි අතිශය සිහින් සහ පරිපූර්ණ රූප නිසා තරුණ පරපුරට ළඟා කරගත නොහැකි, අසාධාරණ රූපලාවන්‍ය මිනුම්දඬු නිර්මාණය වන බවයි.
“අවුරුදු 12ක විතර පුංචි ගෑනු ළමයි සමාජ මාධ්‍යවල තියෙන මෙවැනි AI රූප දැකලා ‘මටත් මේ වගේ ඇඟක් ඕනේ’ කියලා කමෙන්ට්ස් දානවා. ඒ වගේ ලස්සනක් සැබෑ ලෝකයේ මිනිසුන්ට ලබාගන්න බැහැ. මේවා AI මගින් හදපුවා කියලා මනසින් තේරුම් ගත්තත්, මානසික අර්බුද හමුවේ ඒ තර්කය වැඩ කරන්නේ නැහැ” යනුවෙන් මියා පවසන්නීය.
එමෙන්ම 11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මවක වන කෙලී වොට්ස් (Kelly Watts) පවසන්නේ, යූටියුබ් (YouTube) වැනි නාලිකා ඔස්සේ පවා AI මගින් නිර්මාණය කළ ‘පරිපූර්ණ’ සිරුරු සහිත රූප දරුවන් අතරට යන බවයි. මෙවැනි යථාර්ථවාදී නොවන රූප සමඟ තමන්ව සැසඳීමට යාමෙන් දරුවන්ට අනවශ්‍ය මානසික පීඩනයක් ඇතිවන බව ඇය අවධාරණය කරයි.
AI නිරූපිකාවන් හඳුනා ගන්නේ කෙසේද?
බ්‍රිස්ටල්හි Appearance Research මධ්‍යස්ථානයේ මනෝවිද්‍යා මහාචාර්ය ෆිලිපා ඩීඩ්‍රිච්ස් (Phillippa Diedrichs) පෙන්වා දෙන්නේ, AI මගින් සාදන ලද රූපවල සමෙහි ස්වාභාවික සිදුරු (Pores) හෝ කැළැල් නැති තරම් වීම, සමේ සුමට බව සහ ඇස් හෝ හිසකෙස් ස්වාභාවික නොවන ලෙස පිහිටීම වැනි ලක්ෂණ මගින් ඒවා හඳුනාගත හැකි බවයි.
එසේම, AI තාක්ෂණය මගින් රූප නිර්මාණය කිරීමේදී එයට ඇතුළත් කර ඇති දත්ත පදනම් වන්නේ සාම්ප්‍රදායික රූපලාවන්‍ය මතයන් මත බැවින්, සිහින් සිරුරු සහ සුදු සම සහිත පොදු රූප පද්ධතියක් ඉබේම නිර්මාණය වන බවත්, එයින් විවිධ ජාතීන් හා වෙනස් පෙනුමැති සැබෑ මිනිසුන් කොන්වන බවත් ඇය පෙන්වා දෙයි.
පාරිභෝගිකයින් කැමති සැබෑ මිනිසුන්ටයි
කාඩිෆ් බිස්නස් ස්කූල් (Cardiff Business School) හි පර්යේෂිකාවන් වන සෝයි ලී (Zoe Lee) සහ හැනා මැරියට් (Hannah Marriott) කළ අධ්‍යයනයකට අනුව, ප්‍රමුඛ පෙළේ ඇඟලුම් සන්නාම AI මෝස්තර නිරූපිකාවන් යොදාගැනීමට උත්සාහ කර ඇත.
නමුත් පාරිභෝගිකයින්ගෙන් ලැබී ඇත්තේ ඍණාත්මක ප්‍රතිචාරයකි. බොහෝ දෙනා ප්‍රකාශ කර ඇත්තේ, AI මගින් මැවූ කෘතිම රූප වෙනුවට සැබෑ ජීවන අත්දැකීම් සහිත, සැබෑ මිනිසුන් වෙළඳ දැන්වීම්වල සිටිනවා දැකීමට තමන් කැමති බවයි.
අප කළ යුත්තේ කුමක්ද?
මෙවැනි තාක්ෂණික වෙනස්කම් හමුවේ අප මුලින්ම කළ යුත්තේ සමාජ මාධ්‍යවල දකින සෑම රූපයක්ම සැබෑ එකක් නොවන බව වටහාගෙන නිරන්තර අවධානයෙන් පසුවීමයි.
එසේම, දරුවන්ට කෘතිම බුද්ධිය (AI) සහ සැබෑ ලෝකය අතර වෙනස පහදා දෙමින් ඔවුන් තුළ නිවැරදි තාක්ෂණික අවබෝධයක් (AI Literacy) ගොඩනැගීමට දෙමාපියන් කටයුතු කළ යුතුය.
අවසාන වශයෙන්, යම් රූපයක් හෝ දැන්වීමක් දෙස බැලීමේදී එයින් තමන්ගේ සිත තුළ අඩුපාඩුවක්, අප්‍රසාදයක් හෝ නරක හැඟීමක් ඇති වේ නම්, සිතේ මානසික සුවතාවය වෙනුවෙන් එවැනි දේ නැරඹීමෙන් සහ අනුගමනය කිරීමෙන් වැළකී සිටීමටද අප වගබලා ගත යුතුය.



