දැරියකට පහර දී ඇය මියගියා යැයි සිතා පතල් වළකට දමා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවකු අද (18) කලවානේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත්තේ මියගිය මවගේ අනියම් සැමියා බව කියන පුද්ගලයෙකි.
ඔහු පුවක් විකිණීම සඳහා කලවාන නගරයට පැමිණ සිටිය දී කලවාන පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු විසින් දෙල්වල ප්‍රදේශයේ දී 07 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදී පසුව දැරිය මියගියේ යැයි සිතා පතල් වළක දමා තිබුණි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුගේ බිරිඳ සහ අනියම් බිරිදෑවරු දෙදෙනාද මීට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම අනියම් බිරිඳකගේ දියණියක් මෙලෙස ඝාතනයට ලක්ව තිබිණි. අනෙක් අනියම් බිරිඳ ගැබිනියක බවත් ඇය දැරිය පතලට දමා වළලන අවස්ථාවේ දී ඔත්තු බලා ඇති බවත් පොලිසිය කියයි.
සැකකරුගේ නිත්‍යානූකූල බිරිඳ සහ අනියම් බිරිඳෑවරු දෙදෙනා එකම නිවසේ ජීවත් වී ඇති බවට වාර්තා වෙයි.
එම ඝාතනය සිදු කළ බවට අද අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු තවත් අනියම් සම්බන්ධතා කිහිපයක් පවත්වා ඇති බව පොලීසිය සඳහන් කළේ ය. ඔහු මීට පෙර පාසල් දැරියක පැහැර ගෙන යාමේ චෝදනාවට ලක් වූ අයකු බවත් අනවසර මත්පැන් ජාවාරමේ යෙදුණු පුද්ගලයකු බවත් පොලිසිය සඳහන් කරයි.


