දීර්ඝායුෂ ලැබූ වැඩිහිටි පරපුර ඇගයීම යනු සමාජයක කෘතවේදීත්වය ප්‍රකාශ කිරීමකි. ජාත්‍යන්තර වැඩිහිටි දිනය යෙදී තිබුණු ඊයේ (01) දිනයේදී බෝපෙ-පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සුවිශේෂී මෙන්ම හදවතට සමීප පුවතක් වාර්තා විය. ඒ, සියවසක මතකයන් සහ අත්දැකීම් සමුදායක් හිමි, මේ වන විට 105 වැනි වියෙහි පසුවන ජ්‍යෙෂ්ඨතම විශ්‍රාමික රාජ්‍ය සේවකයකු වන පී. විතාන මහතාගේ සුවදුක් විමසීමට බෝපෙ-පෝද්දල ප්‍රාදේශීය ලේකම් එච්.බී.ජී. ප්‍රගීත් රසික කුමාර මහතා හපුගල ප්‍රදේශයේ ඔහුගේ නිවසටම පැමිණීමයි.
මෙවර ජාත්‍යන්තර වැඩිහිටි දිනයේ තේමාව වූයේ “දීර්ඝායුෂ යුගය, දිගු ජීවිත සඳහා පද්ධති පිළිබඳව නැවත සිතා බැලීම” යන්නයි. එම තේමාව අර්ථගන්වමින්, ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරිනිය ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම ගෞරවනීය අවස්ථාවට එක්වූහ.
1921 ජූලි 23 වැනිදා මාතර දිස්ත්‍රික්කයේ කොටවිල සුන්දර ගම්මානයේදී පුංචිඅප්පු විතාන මහතා උපත ලැබීය. සහෝදර සහෝදරියන් හත්දෙනකුගෙන් යුත් පවුලක හයවැනියා ලෙස මෙලොව එළිය දුටු ඔහු, පසුකාලීනව පිටබැද්දර එල්.කේ. සුමනාවතී මහත්මිය සමඟ අතගෙන සාර්ථක පවුල් ජීවිතයකට මුලපිරීය.
ආදරණීය දරුවන් අටදෙනකුගේ පියෙකු වූ විතාන මහතා, පිටබැද්දර හත්තොටුව ප්‍රදේශයේ දීර්ඝ කාලයක් ජීවත් වෙමින් කෘෂි නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවයට මෙන්ම සමාජයට ද අනුපමේය මෙහෙවරක් ඉටු කළේය. අද වන විට ඔහු දරු, මුණුපුරු, මී මුණුපුරු මෙන්ම මිණිපිරියන් රැසගෙන් සමන්විත සතුටු පිරි විශාල පවුලකට සෙවණ සලසන මහා වෘක්ෂයකි. දැනට ඔහු සැඳෑ සමය ගත කරන්නේ හපුගල පිහිටි සිය දියණියකගේ සෙනෙහෙබර නිවසේය.
සියවසකටත් වඩා වැඩි ජීවන අත්දැකීම් ඇසුරින් වර්තමාන පරපුරට ලබාගත හැකි ආදර්ශ රැසක්ම විතාන මහතාගේ චරිතය තුළින් දිස්වේ. වයස අවුරුදු 105ක් වුවද, තවමත් ඉතා හොඳ මතක ශක්තියකින් පසුවන විතාන මහතා, තමන්ව හමුවීමට පැමිණි ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමඟ අතීත තොරතුරු බෙදාගනිමින් ඉතා සතුටින් පිළිසඳරෙහි යෙදෙන්නට විය.
තමන් ඉදිරියේ සිටින මෙම අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයාගේ සුවදුක් විමසා, ඔහුට ගෞරව දැක්වීමට ලැබීම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු පිරිසටද ලැබුණු මහා භාග්‍යයක් විය. අතීත සේවා කාලයේ සුන්දර මතකයන් සහ ජීවන අත්දැකීම් එකිනෙක අවදි කරමින් පැවැති එම සුහද හමුව අවසානයේ, සියලු දෙනාගේ සිත් තුළ නැවුම් සතුටක් සහ ගෞරවයක් ඉතිරි කරමින් නිලධාරීහු සමුගත්හ.




