යක්කලමුල්ලේ දී එක් අයකුට මරු කැඳවමින් සහ සිව් හැවිරිදි දරුවකුට බරපතල තුවාල සිදුකළ වෙඩි තැබීම ඌරගහ සහ ඇල්පිටිය ප්‍රදේශයේ ඝාතන සිද්ධියකට සම්බන්ධයැයි පොලිසිය සැකකරයි.
අද (19) දහවල් මෙම වැඩි තැබීම සිදුකර තිබේ. යක්කලමුල්ල, මා ගෙදර, කරුවලගල ප්‍රදේශයේ දී මේ වෙඩි තැබීම සිදුව ඇති අතර එම වෙඩි තැබීමේ දී තුවාල ලැබූ සමන් කුමාර (33) නමැති අයෙක් කරාපටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇත. තුවාල ලැබූ අනුත් හසරැල් නමැති සිව් හැවිරිදි දරුවාගේ තත්වය බරපතල බවත් ශල්‍ය කර්මයක් සිදුකළ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. දරුවාගේ උදරයට වෙඩි වැදී ඇත.
තවත් පුද්ගලයකුගේ පාදවලට වෙඩි වැදී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මියගිය පුද්ගලයා ඌරගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ඇල්පිටියේ බසයක දී සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් සැකිපිට රිමාන්ඩ් කර සිට පසුව අධිකරණයෙන් ඇප ලැබූ අයකු බව ද පොලිසිය කියයි. ඔහු යක්කලමුල්ල කරුවලගල ප්‍රදේශයේ කාන්තාවක සමඟ විවාහ වී සිටි බව් කුරුඳු තැලීම සඳහා අසළ නිවසකට ගොස් සිටිය දී මෙලෙස වෙඩි තැබීමට ලක්ව ඇති බවත් අනාවරණය වී ඇත.
යතුරු පැදියකින් පැමිණි තිදෙනකු විසින් ටී56 අවියකින් වෙඩි තබා ඇති අතර පලා යද්දී වෙනත් පුද්ගලයකු බිය ගන්වා ඔහුගේ යතුරුපැදිය රැගෙන පලාගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
සිද්ධිය වූ ස්ථානයේ තිබී ටී 56 උණ්ඩ දෙකක් සොයාගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි.


