30 C
Galle

ගිනි අවියක් සමඟ ඉන්දීය ගුවන් ආරක්ෂකයෙක් කටුනායක දී අත්අඩංගුවට. ප්‍රශ්නය ගොඩින් බේරාගනී

Published:

ගුවන් යානයක ආරක්ෂ නිලධාරීවරයකු එම යානයේ ප්‍රධාන නියමුවා සමඟ කටුනායක ගුවන් තොටුපොළේ සංක්‍රමණික මගී පර්යන්තයට නීති විරෝධී ලෙස පැමිණ සිටිය දී අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඉන්දියාව බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක් පැය 04ක් ප්‍රමාද වූ බව වාර්තා වේ.

ගුවන්යානා තුළ සිටි ආරක්ෂක නිලධාරීන්ට ගිනි අවියක් ළඟ තබාගැනීමට අවසරය ඇතත් ඔහු කිසියම් හේතුවකට යානයෙන් පිටතට යන්නේ නම් එම ගිනි අවිය ප්‍රධාන නියමුවා භාරයට පත්කර යා යුතුයි.

නමුත් මෙම ආරක්ෂක නිලධාරියා යානයේ ප්‍රධාන ගුවන් නියමුවා සමඟ සංක්‍රමණික මගී පර්යන්තයට පැමිණ ඇත්තේ එම ගිනි අවියද සන්තකේ තබාගෙනය. මේ බව දුටු ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරියකු සිය ප්‍රධානීන් දැනුම්වත් කිරීමෙන් පසු ඉන්දීය ගුවන් යානයේ ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබිණි.

එලෙස අත්අඩංගුවට ගත් නිලධාරියා ඉන්දියාවේ විශේෂ කාර්ය බළකායේ අයකු බව ද අනාවරණය වී ඇත.

මෙලෙස කියියම් පුද්ගලයකු ගිනි අවියක් සහිතව ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගතහොත් අධිකරණයට ඉදිරිපත් කිරීම අනිවාර්ය වන අතර පසුගිය මාස කිහිපයේ දී රුසියානු සහ ඇමෙරිකානු ගුවන් යානා ආරක්ෂක නිලධාරීන් ද මෙවැනි ම වැරදි හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එසේ වුව ද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක ප්‍රධානින් සහ තානාපති කාර්යාල මැදිහත් වී ඉන්දීය යානයේ ආරක්ෂක නිලධාරියා අධිකරණයට ඉදිරිපත් නොකර  නිදහස් කර ඇති බව ද දැනගන්නට ඇත. ඒ අනුව පැය 04ක පමණ ප්‍රමාදයකින් පසු ඉන්දීය යානය පිටත්ව ගොස් තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!