30 C
Galle

සරසවි සිසු ගැටුමෙන් සිසුවෙකු මරුට

Published:

හෝමාගම, පිටිපන ප්‍රදේශයේ හෝටලයක ඊයේ (09) රාත්‍රියේ පැවැති සාදයක් අතරතුර ඇති වූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ 19 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට එම විශ්වවිද්‍යාලයේම සිසුන් පස්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් අලුත් අවුරුදු සැමරුමකින් අනතුරුව මොරගහහේන මාර්ගයේ පිහිටි උත්සව ශාලාවකට පැමිණ මෙම මත්පැන් සාදය පවත්වා තිබේ. එහිදී මත්පැන් පානය කර විනෝද වෙමින් සිටියදී සිසුන් දෙපිරිසක් අතර හදිසියේ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇත. පහරදීමට ලක් වූ ශිෂ්‍යයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව හෝමාගම පොලිසිය සඳහන් කරයි.

මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල, වැල්ලව, නිකදළුපොත ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි. ඔහු හෝමාගම පිටිපන ප්‍රදේශයේම ශිෂ්‍ය නේවාසිකාගාරයක නැවතී සිටිමින් අධ්‍යාපන කටයුතුවල නිරත වූ සිසුවෙකු බව අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය මුලින්ම සැකකාර සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, පසුව සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. ඒ අනුව මේ වන විට පොලිස් භාරයේ පසුවන සැකකාර සිසුන් සංඛ්‍යාව 05කි.

ඝාතනයට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට කටයුතු යොදා ඇත. හෝමාගම මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Related articles

spot_img
error: Content is protected !!