27.1 C
Galle

තරඟයේ ජයග්‍රහනය ඛේදවාචකයක් වෙයි

Published:

ප්‍රංශයේ ප්‍රමුඛතම පාපන්දු සමාජයක් වන Paris Saint-Germain (PSG) යුරෝපීය චැම්පියන්ස් ලීග් ශූරතාව දිනා ගැනීමෙන් පසු ප්‍රංශය පුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුම්වලින් පුද්ගලයින් 219 දෙනෙකු තුවාල ලබා ඇති අතර 780 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බලධාරීහු පවසති.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ තුවාල ලැබූවන් අතර අට දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි. එමෙන්ම රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් 57 දෙනෙකු ද තුවාල ලබා තිබේ.

PSG කණ්ඩායම චැම්පියන්ස් ලීග් අවසන් මහා තරගයේදී ජයග්‍රහණය වාර්තා කිරීමෙන් අනතුරුව පැරිස් නුවර ප්‍රධාන මාර්ග සහ ප්‍රදේශ රැසකට දහස් සංඛ්‍යාත රසිකයින් එක්රැස් වූහ. කෙසේ වෙතත්, සැමරුම් ඉක්මනින්ම ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට පත්වූ අතර ගිනි තැබීම්, දේපළ හානි කිරීම් සහ පොලිසිය සමඟ ගැටුම් වාර්තා විය.

පැරිස් නුවර ප්‍රසිද්ධ චෑම්ප්ස් එලිසීස් මාර්ගය රසිකයින්ගෙන් පිරී ගිය අතර, ස්ථාන කිහිපයක ගිනි තැබූ වාහන සහ විනාශයට පත් වෙළෙඳසැල් ද දැකගත හැකි විය. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර තිබේ.

ප්‍රංශ අධිකරණ බලධාරීන්ට අනුව, අත්අඩංගුවට ගත් පිරිස අතර බාලවයස්කරුවන් 82 දෙනෙකු ද සිටින අතර, පොලිස් නිලධාරීන්ට පහරදීම, දේපළවලට හානි කිරීම, සොරකම් සහ නීතිවිරෝධී ලෙස ආයුධ ළඟ තබා ගැනීම වැනි චෝදනා ඔවුන්ට එල්ල වී ඇත.

මේ අතර, පැරිස් නගරයේ වටරවුම් මාර්ගයක ඇති වූ අනතුරකින් 24 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර, තවත් යෞවනයෙකු ගැටුමකින් බරපතළ තුවාල ලබා තිබේ. කෙසේවුවද එම සිදුවීම් පාපන්දු සැමරුම්වලට සෘජුව සම්බන්ධද යන්න තවමත් තහවුරු වී නොමැත.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන් නුනේස් සඳහන් කළේ බහුතර ජනතාව සාමකාමීව ජයග්‍රහණය සමරන නමුත්, පාපන්දු රසිකයින් නොවන ඇතැම් පිරිස් කලහකාරී ක්‍රියා සඳහා මෙම අවස්ථාව භාවිත කරන බවයි.

මේ අතර ප්‍රංශ අන්ත දක්ෂිණාංශික නායිකා මාරින් ලී පෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබුණේ “පාපන්දු ජයග්‍රහණයක් කැරලි බවට පත්වන්නේ ප්‍රංශයේ පමණයි” යනුවෙනි.

PSG ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී පෙළපාලිය ඉරිදා පැරිස් නුවර අයිෆල් කුළුණ අසල පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා පොලිස් සහ ආරක්ෂක නිලධාරීන් 6,000කට අධික පිරිසක් යොදවා ඇති බව වාර්තා වේ. එමෙන්ම කණ්ඩායමට ගෞරව දැක්වීම සඳහා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් ද විශේෂ පිළිගැනීමක් සංවිධානය කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!