28.7 C
Galle

මහින්ද විද්‍යාලයේ ගුරුවරුන්ට සහය පළ කරමින් දෙමාපියෝ නිහඬ විරෝධතාවක

Published:

ගාල්ල මහින්ද විද්‍යාලයේ ගුරු මණ්ඩලයේ පිරිසක් විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් ඉවත් වීමට ගත් තීරණය හේතුවෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හමුවේ දෙමාපියන් පිරිසක් අද (21) දහවල් විද්‍යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වූහ. විද්‍යාලයේ ගුරුවරයෙකු සිසුවකුට පහර දුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින් එම ගුරුවරයාට එරෙහිව අදාල දෙමාපියන් විසින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නිසා මෙලෙස පාසල තුල පසුගිය දිනවල ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී තිබිණ.

විරෝධතාවයට එක්වූ දෙමාපියන් විවිධ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සිය අදහස් පළ කළ අතර, එහිදී “දෙමාපියනි මේ අහන්න – ගුරුවරු තැලුවට දරුවට, එපා මෙහෙම වැඩ කරන්න – එහෙම කළොත් අපේ දරුවෝම අනාගතයේ යයි හිරගෙට” වැනි වැකි මගින් ගුරුවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා දෙමාපියන් විවේචනයට ලක් විය. “ගුරු දෙවිවරු මේ අහන්න – අපේ දරුවෝ ගැන බලන්න” යනුවෙන් සඳහන් කරමින් ඔවුන් ගුරුවරුන්ගෙන් යළි සේවයට කැපවන ලෙස ඉල්ලා සිටියහ.

දෙමාපියන් මෙහිදී ඉල්ලා සිටියේ ගුරුවරුන් ගත් එම තීරණය අත්හිටුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යළිත් එම කටයුතුවල නිරත වන ලෙසයි. වර්තමාන නීති රාමුව තුළ ගුරුවරුන්ට සිසුන් කෙරෙහි විනය ක්‍රියාමාර්ග ගැනීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇති බවත්, එය දරුවන්ගේ විනය පිරිහීමට හා අනාගතය අඳුරු වීමට හේතු වන බවත් ඔවුහු පෙන්වා දුන්හ.

ගුරුවරුන්ට ගෞරවාන්විතව සිය වෘත්තීය කටයුතු කරගෙන යාමට අවශ්‍ය මාර්ගෝපදේශ සහ ආරක්ෂාව රජය විසින් ලබාදිය යුතු බවත්, දරුවන් යහමගට යැවීමේදී ගුරුවරුන් ගන්නා ක්‍රියාමාර්ගවලට දෙමාපියන් ලෙස තමන් පූර්ණ සහාය ලබාදෙන බවත් මෙහිදී ප්‍රකාශ කෙරිණි. දරුවන් කෙරෙහි දක්වන අනිසි ආදරය නිසා ගුරුවරුන් අධෛර්යමත් කිරීමෙන් අවසානයේ සිදුවන්නේ රටට මහා විපතක් බව විරෝධතාවයට එක්වූවෝ වැඩිදුරටත් අවධාරණය කළහ.

Related articles

Recent articles

error: Content is protected !!