32.7 C
Galle

සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

Published:

දශක ගණනාවක් පුරා මෙරට සාහිත්‍ය ප්‍රබෝධයට හා පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටුකළ “ගොඩගේ පොත් මැඳුර” හි නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත විය.

1936 මැයි මාසයේදී මාතර, පාලටුව ගම්මානයේ උපත ලැබූ ඒ මහතා නව දෙනෙකුගෙන් යුත් පවුලක හයවැනි දරුවා විය. පාලටුව ගුණරතන මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු, වයස අවුරුදු 15 දී පවුලේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් කළුතර ප්‍රදේශයට පැමිණියේය. මුල් කාලයේ පොත් බඳින්නෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ද, අතරමගදී ඔහුට එම රැකියාව අහිමි විය.

අභියෝග හමුවේ නොසැලුණු හෙතෙම 1957 දී හවුල් ව්‍යාපාරයක් ලෙස කුඩා කඩයක් කුලියට ගෙන සිය ව්‍යාපාරික ගමන යළි ඇරඹීය. විද්‍යෝදය පිරිවෙනට ගොස් පොත්පත් ගෙනැවිත් බැඳීමේ කටයුතු කළ ඔහු, එහිදී මාලිගාකන්ද නායක හාමුදුරුවන්ගේ සහ බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන්ගේ ඇසුර ලබමින් බුදුදහම කෙරෙහි සමීප විය. 1970 වසරේදී මරදානට පැමිණි ඒ මහතා, එවකට පැවති පොත් ඉල්ලුම සැලකිල්ලට ගනිමින් පොත් ප්‍රකාශනය ආරම්භ කළේය. ඔහු ප්‍රකාශ කළ ප්‍රථම කෘතිය වූයේ ළමා පොතකි.

එදාමෙදා තුර මරදානේ ස්ථාපිත ගොඩගේ පොත් මැඳුර, ලංකාවේ භාෂා තුනෙන්ම (සිංහල, දෙමළ, ඉංග්‍රීසි) කෘති ප්‍රකාශයට පත් කරන ප්‍රමුඛතම ආයතනය බවට පත් විය. රාජ්‍ය සම්මාන ඉතිහාසයේ විශේෂ වාර්තාවක් තබමින්, ගොඩගේ ආයතනය වසර 38 ක් පුරා අඛණ්ඩව රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. 2022 වසරේදී පවා එම ආයතනය රාජ්‍ය සම්මාන පහකින් පිදුම් ලැබීය.

පොත් බඳින්නෙකු ලෙස ආරම්භ වී මෙරට අග්‍රගණ්‍ය පොත් ප්‍රකාශකයා දක්වා පැමිණි සිරිසුමන ගොඩගේ මහතාගේ අභාවය මෙරට සාහිත්‍ය ලෝකයට සහ විද්වත් ප්‍රජාවට පියවා ගත නොහැකි විශාල පාඩුවකි.

Related articles

error: Content is protected !!