28.2 C
Galle

කළු ගඟ පිටාර තැන්න ආශ්‍රිත පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්

Published:

කළු ගඟ ද්‍රෝණියට අයත් ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල කළු ගඟ පිටාර තැන්න ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් අද (26) නිකුත් කළ ඇම්බර් මට්ටමේ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (27) පෙරවරු 11.30 දක්වා බලපැවැත්වේ.

කළු ගඟ ද්‍රෝණියේ ජලපෝෂක ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වැසි පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පවතින වර්ෂා තත්ත්වය සහ කළු ගඟ ද්‍රෝණියේ ජල මට්ටම් පිළිබඳ විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට මෙම අවදානම බලපෑ හැකිය.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පිටාර තැන්න ආසන්නයේ පිහිටි පහත්බිම් ප්‍රදේශවලට ද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව නිවේදනයේ දැක්වේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාවටත් එම ප්‍රදේශ හරහා ගමන් කරන රියැදුරන්ටත් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එසේම ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙත ද දැනුම් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!