28.7 C
Galle

ගාල්ලට ඔබ්බෙන් මුහුදේ ඉරාන නාවිකයන්ට ලංකාවේ සහාය: මානුෂීය වගකීමක්ද, භූදේශපාලනික අභියෝගයක්ද?

Published:

ගාල්ල වෙරළෙන් නාවික සැතපුම් 24ක් පමණ දුරින් නතර වී තිබූ වෙළෙඳ නෞකා කිහිපයක සිටි ඉරාන නාවිකයන් 40 දෙනෙකුට ශ්‍රී ලංකාව හදිසි වෛද්‍ය සහාය ලබාදී නැවත ඉරානයට යැවූ සිද්ධිය, ශ්‍රී ලංකාව මුහුණ දෙන නවතම විදේශ ප්‍රතිපත්ති පරීක්ෂණයක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය අනුව, නාවිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ආපදා ඇමතුම් ලැබීමෙන් පසු මෙම මෙහෙයුම ආරම්භ විය. ඉරාන තානාපති කාර්යාලය ගලවා ගැනීම සම්බන්ධීකරණය කර වියදම් දැරූ අතර, නාවිකයන් ගාල්ල හරහා ගොඩබිමට ගෙනැවිත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදී 2026 ඔක්තෝබර් 24 වැනිදා නැවත ඉරානයට පිටත් කර ඇති බව මාධ්‍ය වාර්තා කළේය.

The Hindu වාර්තාවට අනුව, මෙම නෞකා ඇමරිකානු සම්බාධක යටතේ තිබූ තෙල් ප්‍රවාහන නෞකා විය හැකි අතර, ඒවා ශ්‍රී ලංකාවේ භෞමික මුහුදු සීමාවට පිටතින් නතර වී තිබුණි. ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ පවසා ඇත්තේ, මෙය ශ්‍රී ලංකාව විසින් මානුෂීය වගකීම් මත ස්වාධීනව සම්බන්ධීකරණය කළ ක්‍රියාවක් බවත්, වියදම් ඉරාන තානාපති කාර්යාලය විසින් දැරූ බවත්ය.

මෙය ඉරානයට විශේෂ දේශපාලන අනුග්‍රහයක් ලබාදීමක් ලෙස පමණක් විග්‍රහ කළ නොහැක. මුහුදේ ජීවිත අවදානමකට පත්ව සිටින පුද්ගලයන්ට උපකාර කිරීම නාවික ආරක්ෂක පද්ධතියේ මූලික වගකීමකි. ජාතිකත්වය, දේශපාලන සම්බන්ධතාව හෝ නෞකාවේ හිමිකරු කවුරුන්ද යන්න නොසලකා, සැබෑ ආපදා තත්ත්වයක සිටින පුද්ගලයන්ට සහාය සැපයීම ජාත්‍යන්තර නාවික සම්ප්‍රදාය සහ ගිවිසුම් මඟින් පිළිගෙන ඇත.

ශ්‍රී ලංකාවට මෙය විශේෂයෙන් වැදගත් වන්නේ රට වටා ඇති මුහුදු ප්‍රදේශය විශාල ජාත්‍යන්තර නාවික ගමනාගමන කලාපයක් වන බැවිනි. ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ, ශ්‍රී ලංකාවට පැවරී ඇති නිරීක්ෂණ සහ මුදවාගැනීමේ කළාපය රටේ භූමි ප්‍රමාණයට වඩා ආසන්න වශයෙන් 27 ගුණයක් විශාල බවත්, එම ප්‍රදේශය තුළ දිනකට නෞකා 250ක් පමණ ගමන් කරන බවත්ය. එම ආයතනයේ වගකීම් අතර ආපදාවට පත් නෞකා සහ පුද්ගලයන්ට සහාය දීම, වෛද්‍ය ඉවත් කිරීම් සහ ජීවිත බේරා ගැනීම ඇතුළත් වේ.

ඒ අනුව, නාවිකයන්ට ප්‍රතිකාර ලබාදීම ශ්‍රී ලංකාවේ අභිමත දේශපාලන තීරණයක් පමණක් නොව, රටේ සෙවුම් සහ මුදවාගැනීම් වගකීම සමඟද බැඳී ඇත. කෙසේ වෙතත්, ගලවා ගැනීමෙන් පසු නාවිකයන් රට තුළ රඳවා තබනවාද, නැවත යවනවාද, නෞකාවකට වරාය ප්‍රවේශය ලබාදෙනවාද යන්න වෙනම ආගමන, ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති මත තීරණ වේ.

මෙම සිද්ධියේ වැදගත්ම නීතිමය වෙනස වන්නේ අනතුරට පත් මිනිසුන් බේරා ගැනීම සහ සම්බාධක යටතේ ඇති ආර්ථික හෝ නාවික ක්‍රියාකාරකම්වලට පහසුකම් සැපයීම එකම කරුණක් නොවීමයි.

ජාත්‍යන්තර මුහුදු නීතිය යටතේ, මුහුදේදී ජීවිත අවදානමක සිටින පුද්ගලයන්ට හැකි පමණින් සහාය දීමට වගකීමක් ඇත. ජාත්‍යන්තර සමුද්‍රීය සංවිදානය – (IMO – International Maritime Organization) මුහුදේදී මුදවා ගැනීමේ මාර්ගෝපදේශද ජාතිකත්වය නොසලකා මුහුදේ ආපදා තත්ත්වයක සිටින පුද්ගලයන්ට උපකාර කිරීම, ඔවුන්ගේ මූලික වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සහ ආරක්ෂිත ස්ථානයකට ගෙන යාම පිළිබඳ රාමුව පැහැදිලි කරයි.

එම වගකීම ශ්‍රී ලංකාවට තම රටේ වරාය ඕනෑම විදේශීය නෞකාවකට විවෘත කළ යුතුය යන්න අදහස් නොකරයි. විශේෂයෙන් සම්බාධක යටතේ ඇති නෞකා සම්බන්ධයෙන් ඉන්ධන, භාණ්ඩ, මූල්‍ය සේවා, නඩත්තු සේවා හෝ නෞකා මෙහෙයුම් පහසුකම් ලබාදීම වෙනම නීතිමය අවදානමක් ඇති කළ හැකිය.

ඇමරිකානු විදේශ වත්කම් පාලන කාර්යාලය (Office of Foreign Assets Control) නීති අනුව, ආහාර, ඖෂධ සහ වෛද්‍ය උපකරණ සම්බන්ධ ඇතැම් මානුෂීය ගනුදෙනු සඳහා අවසර සහ ව්‍යතිරේක පවතී. එහෙත් එම ව්‍යතිරේක සියලුම ගනුදෙනුවලට ස්වයංක්‍රීයව අදාළ නොවන අතර, සම්බන්ධ පුද්ගලයන් හෝ ආයතන සම්බාධක ලැයිස්තුවේ සිටීද, ගනුදෙනුව ඇමරිකානු මූල්‍ය පද්ධතිය හරහා සිදුවේද, හෝ එය සම්බාධක මඟහැරීමකට දායකද යන්න පරීක්ෂා කළ යුතුය.

එබැවින් වෛද්‍ය හදිසි අවස්ථාවක නාවිකයන් ගොඩබිමට ගෙන ප්‍රතිකාර ලබාදීම සහ සම්බාධක ලැබූ තෙල් නෞකාවකට වාණිජ මෙහෙයුම් පවත්වාගෙන යාමට සහාය දීම අතර පැහැදිලි සීමාවක් තිබේ. ශ්‍රී ලංකාවට එම සීමාව ලේඛනගතව, විනිවිදභාවයෙන් සහ අවශ්‍ය නම් ඇමරිකානු හා ජාත්‍යන්තර නීති විශේෂඥ උපදෙස් යටතේ පවත්වා ගැනීම වැදගත්ය.

මෙම නවතම ඔක්තෝබර් මෙහෙයුම සම්බන්ධයෙන් ඇමරිකාව ශ්‍රී ලංකාවට සෘජුව බලපෑම් කළ බවට නිල සාක්ෂියක් මෙතෙක් පළ වී නොමැත. ඒ වෙනුවට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය මෙය මානුෂීය වගකීමක් මත ගත් ස්වාධීන තීරණයක් බව ප්‍රකාශ කර ඇත. ‘ද හින්දු’ වාර්තාව සඳහන් කරන්නේ, මීට පෙර ශ්‍රී ලංකාව සම්බාධක ලැබූ නෞකා සඳහා සාමාන්‍ය සහාය නොදෙන බව පවසා තිබුණද, මානුෂීය අවශ්‍යතාවයක් ඇති විට මැදිහත් වීමට සූදානම් බව පැහැදිලි කළ බවයි.

එහෙත් ඇමරිකානු බලපෑමේ අවදානම සම්පූර්ණයෙන්ම නොසලකා හැරිය නොහැක. 2026 මාර්තු මාසයේදී රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කේබල් පණිවුඩයක් මඟින් ශ්‍රී ලංකාවෙන් ඉරාන නෞකාවක දිවි ගලවාගත් නාවිකයන් නැවත ඉරානයට නොයවන ලෙස ඉල්ලා තිබූ බවයි. එම අවස්ථාවේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රටට මානුෂීය වගකීමක් ඇති බවත්, රට කිසිදු පාර්ශ්වයකට යටත් නොවන බවත් ප්‍රකාශ කළ බව රොයිටර්ස් වාර්තා කළේය.

ඒ නිසා වර්තමාන සිද්ධියේ දී මානුෂීය ඉවත් කිරීමේ මෙහෙයුම සම්බන්ධයෙන් සෘජු ඇමරිකානු නියෝගයක් තහවුරු වී නොමැති නමුත් සම්බාධක යටතේ ඇති ඉරාන නෞකා සම්බන්ධ ශ්‍රී ලංකාවේ සෑම තීරණයක්ම ඇමරිකානු ද්විතියික සම්බාධක, බැංකු සීමා සහ රාජ්‍යතාන්ත්‍රික පීඩනය යන කරුණු සමඟ සම්බන්ධ විය හැකිය.

ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව 2026දී ඉරානයේ නාවුක ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍රවලට ද්විතියික සම්බාධක අවදානම පුළුල් කරන බවත්, ඉරාන සම්බාධක මඟහැරීමට සහාය දෙන තුන්වන රටවල ආයතන වෙතද ක්‍රියාමාර්ග ගත හැකි බවත් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවට එහි ප්‍රතිඵලය විය හැක්කේ ඇමරිකානු මූල්‍ය පද්ධතියට ප්‍රවේශය, රක්ෂණය, නැව් සේවා සහ ජාත්‍යන්තර බැංකු ගනුදෙනු සම්බන්ධ වියදම් සහ අවදානම් වැඩිවීමයි.

මුහුදේ අනතුරට පත් විදේශීය නාවිකයන්ට ජාතිකත්වය නොසලකා සහාය දීම ලොව පුරා සිදුවන ක්‍රියාවකි. මෙය ලංකාව පමණක් සිදුකළ ක්‍රියාවක් හෝ ඉරානයට පමණක් අදාළ වරප්‍රසාදයක් නොවේ.

ඇමරිකානු හමුදා සහ වෙරළාරක්ෂක කණ්ඩායම් පවා ඉරාන නාවිකයන්ට මෙවැනි මානුෂීය සහාය ලබාදී ඇත. 2012දී ඇමරිකානු වෙරළාරක්ෂක නෞකාවක් එන්ජිම බිඳ වැටී ගංවතුරට ලක්වූ ඉරාන භාණ්ඩ නෞකාවක නාවිකයන් හයදෙනෙකු බේරාගෙන එක් නාවිකයෙකුට පිළිස්සුම් ප්‍රතිකාර ලබාදුන්නේය. එම සිද්ධිය සම්බන්ධයෙන් පෙන්ටගන ප්‍රකාශකයෙකු පවසා තිබුණේ එය ආපදාවට පත් නෞකා බේරා ගැනීමට ඇති වගකීම් ඉටු කිරීමක් බවයි. එම කාලයේදීම ඇමරිකානු නාවික හමුදාව සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරුණු ඉරාන ධීවරයන් 13 දෙනෙකුට ආහාර, ඉන්ධන සහ ආරක්ෂාව ලබාදී ඇත.

ඉන්දියාවද 2026 මාර්තු මාසයේදී ඉරාන නාවික යාත්‍රාවක් ආපදාවට පත්වූ අවස්ථාවේ සෙවුම් සහ මුදවාගැනීම් මෙහෙයුම්වලට සම්බන්ධ විය. එම අවස්ථාවේ ශ්‍රී ලංකාව ඉරාන නෞකාවක නාවිකයන් 200කට වැඩි පිරිසක් ගොඩබිමට ගෙන වෛද්‍ය පරීක්ෂණ කළ අතර, නෞකාව සම්බන්ධයෙන්ද සහාය ලබාදුන්නේය. ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තාව අනුව, ශ්‍රී ලංකා නායකත්වය එම තීරණය ජාත්‍යන්තර ගිවිසුම්, මානුෂීය මූලධර්ම සහ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය යටතේ සාධාරණීකරණය කළේය.

මෙම උදාහරණ දෙක වැදගත් පණිවුඩයක් ලබාදේ. ඇමරිකාව සහ ඉරානය අතර දේශපාලන හෝ හමුදා ගැටුම් තිබුණත්, ගිලෙමින් සිටින හෝ වෛද්‍ය හදිසි අවස්ථාවක සිටින නාවිකයන් බේරා ගැනීම ප්‍රායෝගිකව වෙනම මානුෂීය ක්ෂේත්‍රයක් ලෙස හැසිරවිය හැකිය. එහෙත් ගලවාගැනීමෙන් පසු ඔවුන්ට ලබාදෙන වරාය, ආගමන, ආරක්ෂක හෝ වාණිජ පහසුකම් සම්බන්ධයෙන් රටවල් තම නීති හා විදේශ ප්‍රතිපත්ති අනුව තීරණ ගනී.

ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ වැදගත් නාවික මංසන්ධියක පිහිටා තිබේ. ඒ නිසා යුද නෞකා, වෙළෙඳ නෞකා, සම්බාධක ලැබූ නෞකා සහ ආපදාවට පත් නාවිකයන් සම්බන්ධ සිද්ධීන් අනාගතයේදීද ඇති විය හැකිය. රටට එක්වරම කරුණු තුනක් ආරක්ෂා කිරීමට සිදුවේ: මිනිස් ජීවිත බේරා ගැනීමේ වගකීම, ජාතික ආරක්ෂාව සහ නීතිමය මධ්‍යස්ථභාවය, සහ ඇමරිකානු හෝ වෙනත් බලවතුන්ගේ ආර්ථික පීඩනය.

මෙවැනි අවස්ථාවල ශ්‍රී ලංකාවට පැහැදිලි ප්‍රොටෝකෝලයක් අවශ්‍යය. එයට ආපදා ඇමතුම ලැබුණු වේලාව, සම්බන්ධ නෞකාවේ නීතිමය තත්ත්වය, නාවිකයන්ගේ වෛද්‍ය අවශ්‍යතාව, වරාය ප්‍රවේශයට අවශ්‍ය අවසර, වියදම් දැරූ පාර්ශ්වය සහ නැවත යැවීමේ තීරණය පිළිබඳ නිල වාර්තාවක් ඇතුළත් විය යුතුය.

එසේම මානුෂීය සහාය සහ සම්බාධක මඟහැරීමට සහාය වීම අතර සීමාව ජනතාවට පැහැදිලි කළ යුතුය. අද නාවිකයන්ගේ ජීවිත බේරා ගැනීම නිවැරදි තීරණයක් විය හැකි නමුත්, හෙට එම නෞකා සඳහා ඉන්ධන, මූල්‍ය සේවා හෝ වාණිජ සහාය ලබාදීම වෙනම ප්‍රශ්නයකි.

මෙම සිද්ධියෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව බලවතුන් අතර තෝරා ගැනීමක් කිරීමට වඩා, ජාත්‍යන්තර නීතිය සහ මානුෂීය මූලධර්ම මත සෑම තීරණයක්ම ලේඛනගත කළ යුතු අවස්ථාවකට පැමිණ ඇති බවයි. ඉරාන නාවිකයන් 40 දෙනාට ප්‍රතිකාර ලබාදී නැවත යැවීම ජීවිත ආරක්ෂා කිරීමේ වගකීමක් ලෙස සාධාරණීකරණය කළ හැකිය. නමුත් එම තීරණය පිළිබඳ විනිවිදභාවය නොමැති වුවහොත්, එය මානුෂීය මෙහෙයුමක්ද, දේශපාලන පක්ෂග්‍රාහී ක්‍රියාවක්ද යන ප්‍රශ්නය දිගටම මතුවනු ඇත.

කෙසේවුවද ශ්‍රී ලංකාවේ ඉදිරි පරීක්ෂණය විය යුත්තේ නාවිකයන්ට උපකාර කිරීම වැරදිද යන්න නොව, මානුෂීය සහාය ලබාදීමේදී රටේ නීතිමය ස්වාධීනත්වය, ජාත්‍යන්තර වගකීම් සහ සම්බාධක අවදානම් නිවැරදිව කළමනාකරණය කළේද යන්නයි.

Related articles

spot_img
error: Content is protected !!