29.1 C
Galle

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි

Published:

බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල, වැසි තත්ත්වය ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මේ හේතුවෙන් උතුරු, බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට ඇම්බර් මට්ටමේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔක්තෝබර් 26 වැනිදා අලුයම 3.00ට නිකුත් කළ එම නිවේදනය ඔක්තෝබර් 27 වැනිදා අලුයම 5.30 දක්වා බලපැවැත්වේ. පවතින කාලගුණ තත්ත්වය හමුවේ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙස ද දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග බෙංගාල බොක්කේ පැවැති ගැඹුරු පීඩන අවපාතය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි. එය අද (26) දිනය තුළ සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇති අතර, ඔක්තෝබර් 27 වැනිදා වන විට බෙංගාල බොක්කේ මධ්‍යම-බටහිර ප්‍රදේශයේදී ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට පුරෝකථනය කර තිබේ.

මෙම කාලගුණ පද්ධතිය ශ්‍රී ලංකාවට සෘජුව බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා නොකළ ද, ඒ ආශ්‍රිත සුළං ප්‍රවාහ දිවයින හරහා විහිදීම හේතුවෙන් මෙරට නිරිතදිග ප්‍රදේශවල වැසි වැඩිවිය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.

පූනරින් ප්‍රදේශයට මිලිමීටර් 163ක වැසි

ඔක්තෝබර් 25 වැනිදා පෙරවරු 8.30 සිට ඔක්තෝබර් 26 වැනිදා අලුයම 3.00 දක්වා කාලය තුළ වාර්තා වූ වර්ෂාපතන දත්ත අනුව වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනරින් ප්‍රදේශයෙනි. එම ප්‍රදේශයට මිලිමීටර් 163ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

මන්නාරම දිස්ත්‍රික්කයේ ඉලුප්පයික්කඩවයි ප්‍රදේශයෙන් මිලිමීටර් 148ක වර්ෂාපතනයක් ද, යාපනය දිස්ත්‍රික්කයේ තොල්පුරම් ප්‍රදේශයෙන් මිලිමීටර් 110ක වර්ෂාපතනයක් ද වාර්තා වී ඇත.

උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, මධ්‍යම සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකිය.

පැයට කිලෝමීටර් 50ක පමණ තද සුළං

වැසි සමඟ තාවකාලිකව තද සුළං ඇතිවීමේ අවදානමක් ද පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලටත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ද ජනතාවට උපදෙස් දී තිබේ.

පවතින වැසි තත්ත්වය තවදුරටත් වෙනස් විය හැකි බැවින් ඉදිරියේදී නිකුත් කරන කාලගුණ අනාවැකි සහ නිල නිවේදන පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related articles

spot_img
error: Content is protected !!