ලොව පුරා 24 පැය ප්‍රවෘත්ති විකාශනය කිරීමේ සංකල්පය යථාර්ථයක් බවට පත් කරමින් රූපවාහිනී මාධ්‍යයේ විප්ලවයක් ඇති කළ CNN ආරම්භකයා වූ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මියයන විට 87 හැවිරිදි වියේ පසුවිය.
ඇමෙරිකානු මාධ්‍ය ඉතිහාසයේ වඩාත්ම බලපෑම් කළ පුද්ගලයන් අතරට එක්වන ටර්නර්, “The Mouth of the South” යන අන්වර්ථ නාමයෙන්ද ප්‍රසිද්ධියට පත්ව සිටියේය. ඔහුගේ අධිෂ්ඨානශීලී හා විවාදාත්මක අදහස් මෙන්ම නිර්භීත ව්‍යාපාරික තීරණ නිසා ඇමෙරිකානු මාධ්‍ය ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් විය.
1980 ජූනි 01 වැනිදා CNN නාලිකාව ආරම්භ කළ ටර්නර්, එතෙක් පැවති සම්ප්‍රදායික ප්‍රවෘත්ති විකාශන ක්‍රමයට අභියෝග කළේය. දිනකට පැය කිහිපයක් පමණක් විකාශය වූ ප්‍රවෘත්ති වෙනුවට, ලොව පුරා සිදුවීම් මොහොතින් මොහොත ජනතාව වෙත ගෙන යා හැකි 24 පැය ප්‍රවෘත්ති නාලිකාවක් ඔහු නිර්මාණය කළේය. අද ලොව පුරා පවතින අඛණ්ඩ ප්‍රවෘත්ති නාලිකා සංකල්පයේ පියා ලෙස සැලකෙන්නේද ටෙඩ් ටර්නර්ය ය.
1991 වසරේදී Time සඟරාව ඔහු “වසරේ පුද්ගලයා” ලෙස නම් කළේ, ලෝකයේ ඕනෑම සිදුවීමක් ක්ෂණිකව ලොව පුරා ප්‍රේක්ෂකයන් වෙත ගෙනයාමේ නව මාධ්‍ය යුගයක් නිර්මාණය කිරීම හේතුවෙනි.
CNN පමණක් නොව, Turner Broadcasting System (TBS), TNT, Cartoon Network සහ Turner Classic Movies (TCM) වැනි ජනප්‍රිය නාලිකා රැසක්ද ඔහුගේ නිර්මාණයන් අතරට එක්වෙයි. එමෙන්ම ඇට්ලන්ටා බ්‍රේව්ස් බේස්බෝල් කණ්ඩායම සහ ඇට්ලන්ටා හෝක්ස් පැසිපන්දු කණ්ඩායමද ඔහු සතු විය.
මාධ්‍ය ලෝකයෙන් ඔබ්බටද ටර්නර්ගේ ජීවිතය විහිදී ගියේය. ඔහු ප්‍රසිද්ධ පරිසරවේදියෙකු, දානපතියෙකු සහ සාම ක්‍රියාකාරිකයෙකු ලෙසද ජාත්‍යන්තර අවධානයට ලක්විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක පරිත්‍යාගයක් සිදු කළ ඔහු, United Nations Foundation ආයතනයද ආරම්භ කළේය. න්‍යෂ්ටික අවි විනාශ කිරීම වෙනුවෙන් ද ඔහු දැඩිව පෙනී සිටියේය.
එමෙන්ම ඇමෙරිකාවේ බයිසන් ගව විශේෂය වඳවීමෙන් ගලවා ගැනීම සඳහා විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ ඔහු, විශාල භූමි ප්‍රමාණයක් හිමි ඉඩම් හිමියෙකු බවටද පත්විය. පරිසරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා “Captain Planet” කාටූන් මාලාව නිර්මාණය කිරීමද ඔහුගේ තවත් සුවිශේෂී මෙහෙවරකි.
ටර්නර්ගේ ජීවිතය සාර්ථකත්වය පමණක් නොව, දැඩි පෞද්ගලික වේදනා වලින්ද පිරී තිබුණි. ඔහුගේ පියා සියදිවි නසා ගැනීමෙන් පසු වයස අවුරුදු 24 දී පවුලේ දැන්වීම් ව්‍යාපාරය භාරගත් ටර්නර්, එය දැවැන්ත මාධ්‍ය අධිරාජ්‍යයක් බවට පත් කළේය.
1991 දී ජනප්‍රිය හොලිවුඩ් නිළි ජේන් ෆොන්ඩා සමඟ විවාහ වූ ඔහුගේ විවාහය දශකයකට පසු අවසන් වූ අතර, එම වෙන්වීම ඔහුගේ ජීවිතයේ දැඩි මානසික කම්පනයක් බවට පත්ව තිබුණි.
2018 වසරේදී තමන් නම් මතකය හා මොළයේ ක්‍රියාකාරිත්වය අඩාල කරන රෝගයකින් පෙළෙන බව ටර්නර් හෙළි කළේය. මීට මාස කිහිපයකට පෙර ඔහු නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබූ බවද වාර්තා විය.
ටෙඩ් ටර්නර්ගේ අභාවයත් සමඟ, මාධ්‍ය ලෝකය වෙනස් කළ දැවැන්තයකුගේ යුගයක් නිමාවට පත්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය විශ්ලේෂකයෝ පවසති. අද ලෝකය සිදුවීම් “සජීවීව” දකින මාධ්‍ය සංස්කෘතියේ මූලාරම්භකයා ලෙස ඔහු සදා මතකයේ රැඳෙනු ඇත.


