ජගත් පරිසර දිනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වනාන්තර 5ක් නව රක්ෂිත ලෙස ගැසට් කර ආරක්ෂා කිරීමට රජය කටයුතු යොදා තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ නව රජයේ පරිසර ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මක වන “වනස්පති” ජාතික වැඩසටහනේ තවත් සුවිශේෂී අදියරක් ලෙසිනි.
පරිසර අමාත්‍යාංශය පවසන්නේ ජුනි 05 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් රිටිගල සංරක්ෂණ වනාන්තරය, කල්ලංචිය වනාන්තරය, බුලාගල වනාන්තරය, කෝන්කැටියාව වනාන්තරය සහ අලියාවැටුණු වැව වනාන්තරය රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.
මෙම වනාන්තර අතරින් විශාලතම වනාන්තරය වන්නේ හෙක්ටයාර් 1,957.07කින් සමන්විත රිටිගල සංරක්ෂණ වනාන්තරයයි. නුවර කලාවියේ උසම කඳු වැටිය වන රිටිගල කඳුවැටිය වටා විහිදී ඇති මෙම වනාන්තරය වියළි කලාපයේ පිහිටා තිබුණද තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ රැසක් දරන අතර ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සත්ව විශේෂ රැසකට වාසස්ථාන සපයයි. එමෙන්ම මල්වතු ඔය ඇතුළු ජල මූලාශ්‍ර සඳහා වැදගත් ජල පෝෂක ප්‍රදේශයක් ද වේ.
අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම, ජෛව විවිධත්වය සුරැකීම සහ ජල මූලාශ්‍ර සංරක්ෂණය මෙම නව රක්ෂිත ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණු අතර වේ. කල්ලංචිය, කෝන්කැටියාව, බුලාගල සහ අලියාවැටුණු වැව වනාන්තර ද අලි ඇතුන්, මුවන්, රිලවුන්, පක්ෂීන් සහ උරගයින් ඇතුළු සත්ව ප්‍රජාවන්ට වැදගත් වාසස්ථාන සපයන පාරිසරික වශයෙන් ඉහළ වටිනාකමකින් යුත් වනාන්තර ලෙස හඳුනාගෙන ඇත.
මේ අතර “දලුලන්න ඉඩදෙන්න” යන තේමාව යටතේ ජගත් පරිසර දින ජාතික සැමරුම 2026 ජුනි 05 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙවර ජගත් පරිසර දිනයේ ගෝලීය තේමාව ලෙස “Urgent Climate Action” හෙවත් “කඩිනම් දේශගුණික ක්‍රියාකාරීත්වය” තෝරාගෙන ඇති අතර, ශ්‍රී ලංකාව “තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” යන දැක්ම පෙරදැරි කරගනිමින් ප්‍රායෝගික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.
ඒ අනුව මැයි 30 සිට ජුනි 05 දක්වා කාලය “ජාතික පරිසර සතිය” ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ආකල්ප ප්‍රවර්ධනය, පරිසර පවිත්‍රතාව, දේශගුණික විපර්යාස හා වායු දූෂණය පිළිබඳ දැනුවත් කිරීම, ජෛව විවිධත්ව සංරක්ෂණය, ජල හා ජල මූලාශ්‍ර ආරක්ෂාව, වෙරළ පවිත්‍ර කිරීම සහ රුක් රෝපණය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය වන වැඩසටහන් සංවිධානය කර ඇත.
වනස්පති ජාතික වැඩසටහන යටතේ 2025 සිට 2026 දක්වා කාලය තුළ වනාන්තර 81ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති අතර, එය ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරක් තුළ වැඩිම වනාන්තර ප්‍රමාණයක් නීතිමය ආරක්ෂාව යටතට පත් කරන අවස්ථාව ලෙස සැලකේ. ජගත් පරිසර දිනයේදී රක්ෂිත බවට පත් කිරීමට නියමිත මෙම වනාන්තර 5 ද එම ජාතික වැඩසටහනේ තවත් වැදගත් පියවරකි.
පරිසර අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පරිසර සංරක්ෂණය රජයේ වගකීමක් පමණක් නොව සමස්ත සමාජයේම වගකීමක් බව වටහාගෙන “දලුලන්න ඉඩදෙන්න” ජාතික ව්‍යාපාරයට සක්‍රීයව දායක වන ලෙසයි.



