28.3 C
Galle

වෙසක් සරසන්න පොලිතීන් එපා

Published:

එළඹෙන වෙසක් උත්සව සමයේ සැරසිලි සහ දන්සැල් සඳහා පොලිතීන් හා ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් සහ සංවිධායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

වෙසක් පහන් කූඩු ඇතුළු විවිධ සැරසිලි, විනෝදාස්වාද මෙවලම් මෙන්ම දන්සැල් වැනි පුණ්‍ය කටයුතුවලදී පොලිතීන් සහ ප්ලාස්ටික් බහුලව භාවිත වන බව නිරීක්ෂණය වී ඇති බව එම අධිකාරිය පෙන්වා දෙයි.

දන්සැල් පවත්වන ස්ථානවලදී පොලිතීන් ලන්ච් ෂීට්, තනි භාවිත කෝප්ප, පිඟන්, හැඳි, ගෑරුප්පු සහ කලතන (Stirrer) මෙන්ම පොලිතීන් ඉටිකොළ භාවිතය පිළිබඳව ද දැඩි අවධානයක් යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය මධ්‍යම පරිසර අධිකාරිය නැවතත් අවධාරණය කරයි:

2023 ජූලි 19 දිනැති අංක 2341/30 දරන ගැසට් පත්‍රයට අනුව පුළුල් කරන ලද පොලිස්ටියරින් ආහාර බහාලුම්/පෙට්ටි, ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, හැඳි, ගෑරුප්පු, පිහි, කලතන සහ ප්ලාස්ටික් මල්මාලා වැනි තනි භාවිත අයිතම රැසක් තහනම් කර ඇත.

2017 සැප්තැම්බර් 01 දිනැති අංක 2034/34 දරන ගැසට් පත්‍රයට අනුව පොලිතීන් ආහාර දවටන හෙවත් ලන්ච් ෂීට් විකිණීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය, නොමිලේ ලබා දීම හෝ භාවිතය නීතියෙන් තහනම් වේ.

නීතිය ක්‍රියාත්මක කිරීම

මෙම නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින්ට සහ ආයතනවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, එය දඬුවම් ලැබිය හැකි වරදක් බවත් පරිසර අධිකාරිය සඳහන් කරයි.

වෙසක් සමයේ ආමිස පූජාවන්හි නිරත වන අතරතුර පරිසරය සුරැකීමට දායක වන ලෙසත්, දිරාපත් වන ස්වාභාවික අමුද්‍රව්‍ය සැරසිලි සඳහා භාවිත කරන ලෙසත් එම අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Related articles

error: Content is protected !!