29.2 C
Galle

මාලබේ බයිසිකල් සංදර්ශනය, තරුණයින් 22ක් කොටු වේ

Published:

මාලබේ, චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආසන්නයේ පොදු මාර්ගයේ මහජනතාවට බාධාවන අයුරින් අනතුරුදායක ලෙස යතුරුපැදි සංදර්ශන පැවැත්වූ තරුණයින් 22 දෙනෙකු කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය කරමින් පිරිසක් මාර්ගය අවහිර කරන බවට කඩුවෙල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු පෞද්ගලික තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව අදාළ ස්ථානය වටකර කිසිවෙකුටත් පැන යාමට නොහැකි වන සේ ක්‍රියාත්මක වූ අතර, එහිදී තරුණයින් 22 දෙනා සමඟ ඔවුන් පැමිණි යතුරුපැදි ද පොලිස් භාරයට ගැනුණි. අත්අඩංගුවට ගත් යතුරුපැදි අතර මෙරට ලියාපදිංචි නොකළ (Unregistered) යතුරුපැදි දෙකක් ද තිබී හමුවීම විශේෂත්වයකි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම තරුණයින් පිරිස ‘වට්ස්ඇප්’ (WhatsApp) සමූහයක් හරහා එකිනෙකා සම්බන්ධ වී ඇති බවයි. එම සමූහය හරහා කතා කරගත් පරිදි ඔවුන් මෙම ස්ථානයට පැමිණ ඇති අතර, අත්අඩංගුවට ගත් සියලුම තරුණයින් කඩුවෙල පොලිස් බල ප්‍රදේශයෙන් පිටත වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් පිරිස පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, ලබන මැයි මස 05 වනදා ඔවුන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට පොලිසිය විසින් නියෝග කර තිබේ. කඩුවෙල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

error: Content is protected !!