ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොල්වත්තහේන, අසමාන කන්ද ඉහළ කොටස අද (05) පෙරවරුවේ දැවැන්ත නායයෑමකට ලක්ව තිබේ.
ගම්වැසියන් පවසන පරිදි අද (05) පෙරවරු 7.30 ට පමණ විශාල ශබ්දයක් සමඟ මෙම නායයෑම සිදුව ඇත. නායයෑම හේතුවෙන් එම ප්‍රදේශයේ වගා කර තිබූ තේ අක්කර 8ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව වාර්තා වේ. සිද්ධිය වන අවස්ථාවේ තේ දලු නෙළීම සඳහා කම්කරුවන් වගා බිම් වෙත ගොස් නොසිටීම නිසා විශාල ජීවිත හානියක් වැළකී ගොස් තිබේ.
මෙම අනතුරින් නිවාස හෝ දේපළ හානි වාර්තා වී නොමැති බව ඕපනායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා අංශය තහවුරු කරයි.
නායයෑම සිදුවූ ප්‍රදේශයට පහළින් පදිංචි ගම්වැසියන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස උපදෙස් දී ඇති අතර, අවදානම් කලාපයේ පදිංචිකරුවන් හැකි ඉක්මනින් ඉවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරමින් සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පොලිසිය එක්ව ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කරනු ලබයි.


