24.8 C
Galle

ලාෆ්ස් සමාගම ගෑස් පෙන්වයි, මාස හතරක් රුපියල් 2,000කට ආසන්න වැඩිවීමක්

Published:

ලාෆ්ස් ගෑස් සමාගම සිය ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරවල මිල ගණන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට යළි ඉහළ දමා තිබේ. සමාගම නිවේදනය කළේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ සැපයුම් පීඩන හේතුවෙන් මෙම මිල සංශෝධනය සිදු කළ බවයි.

නව මිල සංශෝධනය අනුව, කොළඹ දිස්ත්‍රික්කය සඳහා වන කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 6,245ක් වේ. එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 220කින් ඉහළ දමා රුපියල් 2,500ක් ලෙස නියම කර ඇත.

මෙය 2026 වසර තුළ ලාෆ්ස් ගෑස් සමාගම සිදු කළ සිව්වන ප්‍රධාන මිල වැඩි කිරීම ලෙස සැලකේ. ජනවාරි 01 වනදා කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා රුපියල් 4,250ක් දක්වා වැඩි කළ අතර, පෙබරවාරි මාසයේදී තවත් රුපියල් 80කින් වැඩි කර එය රුපියල් 4,330ක් බවට පත් කර තිබුණි.

ඉන් අනතුරුව මාර්තු මාසයේදී තවත් රුපියල් 300ක මිල වැඩි කිරීමක් සිදුකරමින් 12.5kg සිලින්ඩරයක මිල රුපියල් 4,630ක් දක්වා ඉහළ දැමූ අතර, අප්‍රේල් මාසයේදී සිදුකළ විශාල මිල සංශෝධනයකදී එය රුපියල් 5,700ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

ඒ අනුව 2026 වසර ආරම්භයේ සිට මේ දක්වා පමණක් ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල සමස්තයක් ලෙස රුපියල් 1,995කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ගෑස් මිල අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටින අතර, විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ආපනශාලා, බේකරි සහ ගෘහස්ථ පාරිභෝගිකයන්ට මෙය දැඩි බලපෑමක් එල්ල කර ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම ඉන්ධන මිල සහ ජීවන වියදම් ද සමගාමීව ඉහළ යාමත් සමඟ ගෑස් මිල සංශෝධනය පාරිභෝගික ජනතාවට තවත් ආර්ථික බරක් එකතු කරන තත්ත්වයක් නිර්මාණය කර ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

Related articles

error: Content is protected !!