29 C
Galle

යාපනය – නාගපට්ටිනම් මගී නැව් සේවාව තාවකාලිකව අත්හිටුවයි

Published:

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර ක්‍රියාත්මක මගී ප්‍රවාහන නැව් සේවාව, නැවක එන්ජින් දෝෂයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

පසුගිය සිකුරාදා (08) කන්කසන්තුරේ වරායෙන් පස්වරු 2.30ට පිටත් වූ මගී නැව, නාගපට්ටිනම් වෙරළට නාවික සැතපුම් තුනක් පමණ දුරින් ගමන් කරමින් සිටියදී එන්ජින් දෝෂයකට ලක්ව තිබේ. එම අවස්ථාවේ නැවෙහි මගීන් 144 දෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් අතර විදේශීය ජාතිකයන් 45 දෙනෙකුද සිටි බව වාර්තා වේ.

නියමිත පරිදි සවස 6.30ට පමණ නාගපට්ටිනම් වරායට ළඟාවීමට නියමිතව තිබූ නැව, පැය කිහිපයක් මුහුද මැද නතරවීමෙන් පසුව රාත්‍රී 10.45ට පමණ වරායට ළඟා වී ඇත. නැවේ කාර්ය මණ්ඩලය දෝෂය නිවැරදි කිරීමට උත්සාහ කළද, අවසානයේ ප්‍රදේශයේ ධීවරයින්ගේ සහාය ඇතිව නැව වරායට ඇදගෙන ආ බව සඳහන් වේ.

දිගු වේලාවක් මුහුද මැද රැඳී සිටීම හේතුවෙන් මගීන් කිහිප දෙනෙකුට හිසරදය, වමනය සහ අසනීප තත්ත්වයන් ඇතිව තිබූ අතර, ඔවුන් සඳහා වෛද්‍ය කණ්ඩායම් වරායේ සූදානම් කර තිබුණි. ගිලන් රථ හතරක්ද හදිසි අවස්ථා සඳහා සූදානම් කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම නැව් සේවාව පසුගිය මාස කිහිපය පුරාම ප්‍රමාදවීම් සහ තාක්ෂණික දෝෂවලට මුහුණ දී ඇති බවට මගීන් චෝදනා කරති. ඉන්දියාවේ බෙන්ගලූරු නගරයේ සිට පැමිණි සු‍රේෂ් නමැති මගියෙකු සහ තොන්ඩි ප්‍රදේශයේ අබ්දුල් නමැති තවත් මගියෙකු පවසා ඇත්තේ, මුහුද මැද පැය ගණනක් නැව නතරව සිටීම නිසා මගීන් දැඩි බියකට පත්වූ බවයි.

මගී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වඩාත් විධිමත් පියවර ගන්නා ලෙසත්, නැව් තුළ පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

නැව් සේවාව යළි ආරම්භ කරන්නේ කවදාද යන්න පිළිබඳව මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

Related articles

spot_img
error: Content is protected !!