ගාල්ල, දංගෙදර ඩික්සන් මංසන්ධියේදී අද (12) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු මියගොස් තිබේ. රතු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා වහාම ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කළ අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ අහංගම, වැල්හේන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක නිරත වූ අයෙකු බවයි. කිසියම් මුදල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි රතු පැහැති මෝටර් රථය ගාල්ල, දඩල්ල ප්‍රදේශයේ කනත්තක් අසල දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මෝටර් රථයෙන් පැමිණ අපරාධය සිදුකර පළා ගොස් ඇති බව නිරීක්ෂණය වී තිබේ.
ඝාතනය සිදුකළ පුද්ගලයින් කවුරුන්ද යන්න සහ ඊට නිශ්චිත හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. ගාල්ල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වන අතර, ප්‍රදේශයේ CCTV දර්ශන සහ සොයාගත් මෝටර් රථය ඔස්සේ පරීක්ෂණ කටයුතු වේගවත් කර ඇත.


