ෆිලිපීනයේ පාසලක් තුළ සිදුවූ අතිශය දුර්ලභ ගණයේ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ බාලවයස්කාර සැකකරුවෙකු ප්‍රචණ්ඩකාරී වීඩියෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී සිටි බව අනාවරණය වීමත් සමඟ, එම ක්‍රීඩා යෙදුම (App) රට තුළ තාවකාලිකව අවහිර කිරීමට ෆිලිපීන බලධාරීන් පියවර ගෙන තිබේ.
මැනිලා අගනුවරට ගිනිකොණ දෙසින් පිහිටි ටැක්ලෝබන් (Tacloban) නුවර සැන් ජෝසේ ජාතික උසස් පාසලේ (San Jose National High School) පසුගිය සඳුදා සිදුවූ මෙම දරුණු වෙඩි තැබීමෙන් සිසුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වන්නේ වයස අවුරුදු 14 සහ 15 පසුවන සිසුන් දෙදෙනෙකි.
ෆිලිපීන සයිබර් ආරක්ෂණ ආයතනය පවසන්නේ මෙම ඛේදවාචකයට අන්තර්ජාලය හරහා එල්ල වූ බලපෑම් දායක වී තිබීමේ හැකියාව නොසලකා හැරිය නොහැකි බවයි.
සයිබර් අපරාධ විමර්ශන සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ උපලේකම් අබෝයි පැරයිසෝ (Aboy Paraiso) මහතා සඳහන් කළේ මෙම ක්‍රීඩා වේදිකාව සැකකරුවන්ගේ ක්‍රියාවන්ට කිසියම් බලපෑමක් කර තිබේද යන්න පිළිබඳව පුළුල් තක්සේරුවක් කිරීමට මෙම තාවකාලික තහනම උපකාරී වන බවයි.
ජර්මනියේ සමාගමක් විසින් නිෂ්පාදිත මෙම ක්‍රීඩාව අතිශය ප්‍රචණ්ඩකාරී, ලේ වැගිරීම් සහ බිහිසුණු ආයුධ භාවිත වන (First-person shooter) ක්‍රීඩාවක් වන අතර, එහි ඇති අසීමිත ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ඊට ‘R18’ වර්ගීකරණය ද හිමිව තිබේ.
ෆිලිපීන ජාතික පොලිසියේ ප්‍රකාශක ඇලන් රේ කෝ (Allan Rae Co) මහතා සඳහන් කළේ 14 හැවිරිදි සැකකරු අන්තර්ජාලයේ ඇති ප්‍රචණ්ඩකාරී අන්තර්ගතයන් කෙරෙහි දැඩි ලෙස ඇබ්බැහි වී සිට ඇති අතර ඔහු විසින් එවැනි දේ අන්තර්ජාලයට ද මුදාහැර ඇති බවයි.
මූලික විමර්ශනවලට අනුව මෙම සිසුන් දෙදෙනා පාසලේදී විවිධ හිරිහැරවලට (Bullying) ලක්ව ඇති බව ප්‍රකාශ කර ඇති අතර, ඔවුන් දෙදෙනා වැසිකිළියක් තුළ සැඟවී සිට මෙම ප්‍රහාරය කලින් සැලසුම් කර දියත් කර තිබේ. ප්‍රහාරය සඳහා 14 හැවිරිදි සිසුවා භාවිත කළ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලය ඔහුගේ නැන්දනියක වන පොලිස් නිලධාරිනියකට අයත් එකක් වන අතර ඇයගේ සේවය දැනට අත්හිටුවා ඇත.
අනෙක් 15 හැවිරිදි සැකකරු භාවිත කළ ගිනිඅවිය ඔහුගේ සීයාගේ ආරක්ෂක ඒජන්සියකට අනුයුක්තව ලියාපදිංචි කරන ලද්දකි.
ෆිලිපීන නීතියට අනුව 14 හැවිරිදි සැකකරුට එරෙහිව නඩු පැවරීමට වයස ප්‍රමාණවත් නොවන බැවින් ඔහුට චෝදනා ගොනු කර නොමැති අතර, 15 හැවිරිදි සැකකරුට එරෙහිව පොලිසිය විසින් මිනීමැරුම් චෝදනා ගොනු කර තිබේ.
සාමාන්‍යයෙන් ෆිලිපීනය තුළ ගිනිඅවි ආශ්‍රිත අපරාධ සිදුවුවද, මෙවැනි සමූහ වෙඩි තැබීම් සිදුවන්නේ ඉතා කලාතුරකින් වන අතර සැකකරුවන් බාලවයස්කරුවන් වීම රට තුළ දැඩි කනස්සල්ලක් මතු කර ඇත. මෙම තත්ත්වය හමුවේ බාලවයස්කරුවන්ට ගිනිඅවි ලබා ගැනීමට ඉඩ සලසන අයට එරෙහිව දැඩි දඬුවම් පැනවිය යුතු බව කොන්ග්‍රස් මන්ත්‍රී චෙල් ඩියොක්නෝ (Chel Diokno) මහතා පවසයි.
සෙනෙට් සභික රීසා හොන්ටිවෙරෝස් (Risa Hontiveros) මහත්මිය අවධාරණය කරන්නේ අන්තර්ජාලය හරහා ළමයින් ප්‍රචණ්ඩත්වයට සහ අන්තවාදයට යොමු කිරීම වැළැක්වීමට වහාම පියවර ගත යුතු බවයි. අධ්‍යාපන අමාත්‍ය සොනී අංගාරා (Sonny Angara) මහතා ද ප්‍රකාශ කළේ ඇමරිකා එක්සත් ජනපදයේ මෙන් පාසල් වෙඩි තැබීම් අනුකරණය කරන තත්ත්වයක් රට තුළ ඇතිවීම වැළැක්වීම සම්බන්දව රජය දැඩි අවධානයෙන් පසුවන බවයි.



