29.4 C
Galle

අමෙරිකානු ඩොලරය යළි ඉහළට, මාස 5කට පසු වාර්තා වූ වැඩිම අගය මෙන්න

Published:

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අද (14) බ්‍රහස්පතින්දා දිනයේදී රුපියල් 329.92ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2023 දෙසැම්බර් 27 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගය ලෙස සටහන් වේ.

මහ බැංකු දත්තවලට අනුව, ඊයේ (බදාදා) රුපියල් 327.38ක්ව පැවති ඩොලරයේ විකුණුම් මිල අද දිනයේදී රුපියල් 329.9201ක් දක්වා ඉහළ ගොස් ඇත. මීට පෙර ඩොලරයක අගය රුපියල් 330 සීමාව ඉක්මවා ගියේ 2023 දෙසැම්බර් 27 වැනිදා වන අතර එදින විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 330.38ක් වශයෙනි.

ඩොලරයට අමතරව ස්ටර්ලින් පවුම සහ යුරෝ ඇතුළු අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල්වල අගයන් ද ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අද දිනයේ ඉහළ ගොස් තිබේ.

අමෙරිකානු භාණ්ඩාගාර බැඳුම්කර අස්වැන්න ඉහළ යාම සහ අමෙරිකානු ෆෙඩරල් බැංකුව විසින් පොලී අනුපාත තවදුරටත් ඉහළ දමනු ඇතැයි පවතින අපේක්ෂාවන් හේතුවෙන් ලෝක වෙළඳපොළ තුළ ඩොලරය ශක්තිමත් වීම රුපියල මෙලෙස දුර්වල වීමට ප්‍රධාන හේතුව වී ඇත.

ශ්‍රී ලංකා රුපියලේ අගය මෙලෙස උච්චාවචනය වීම ආනයනික භාණ්ඩවල මිල කෙරෙහි ද බලපෑම් ඇති කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Related articles

error: Content is protected !!