27.2 C
Galle

පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතාවලිය හෙට කළුතරදී

Published:

පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතාවලිය 2026 (Commonwealth Chess Championship) කළුතරදී හෙට (17) ආරම්භ කෙරෙන අතර සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා ලෝක චෙස් සම්මේලනයේ (FIDE) සභාපති ආකේඩ් ඩිවොර්කොවිච් (Arkady Dvorkovich) මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණියේය.

කටුනායක ගුවන් තොටුපොළේ ‘ගෝල්ඩ් රූට්’ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී ඒ මහතා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් සම්මේලනයේ සභාපති භරත් සිං චෞහාන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

රටවල් 14ක ක්‍රීඩකයින් 700ක් කළුතරට

මෙම ජාත්‍යන්තර තරගාවලිය අද (17) සිට මැයි 25 වනදා දක්වා කළුතර, වස්කඩුව සීට්‍රස් (Citrus) හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, පාකිස්ථානය, සිංගප්පූරුව, මොරිෂස්, දකුණු අප්‍රිකාව සහ ස්කොට්ලන්තය ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 14කින් විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 350ක් සහභාගී වන අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 350ක් පමණ ඊට එක්වීමට නියමිතය.

තරගාවලියේ සමාරම්භක උත්සවය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ශ්‍රී ලංකා චෙස් සම්මේලනය නිවේදනය කරයි.

රුසියාවේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙකු ද වන ආකේඩ් ඩිවොර්කොවිච් මහතා සිය සංචාරය අතරතුර මෙරට චෙස් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දේශීය නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට ද නියමිතය. ශ්‍රී ලංකාව තුළ චෙස් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කර ගැනීම අරමුණු කරගනිමින් ලෝක චෙස් සභාපතිවරයාගේ මෙම සංචාරය සංවිධානය කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!