වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ අද (19) ආරම්භ වීමට සැලසුම්කර තිබූ දකුණු පළාත් පාසල් චෙස් තරඟාවලියේ මූලික වටයේ තරඟ අවසාන මොහොතේ කල් දැමීම හේතුවෙන් ඒ සඳහා පැමිණ සිටි දරුවන් සහ දෙමාපියන් තුන් දහසකට වැඩි පිරිසක් දැඩි අසීරුතාවයට පත් වී ඇතැයි වාර්තා වේ.
සැලසුම් කර තිබූ පරිදි මූලික වටයේ තරග සවස 3.30 ට ආරම්භ වීමට නියමිතව තිබුණද, දෙමාපියන් පවසන්නේ රාත්‍රී 7.00 වනතුරුත් තරඟ ආරම්භ කිරීමට සංවිධායකයින් අසමත් වූ බවයි. අවසානයේ රාත්‍රී 7.00 ට පමණ සංවිධායකයන් විසින් නිවේදනය කර ඇත්තේ එදිනට නියමිතව තිබූ තරග සියල්ල අවලංගු කළ බවයි.
තරඟ වට පැවැත්වීමේදී ඒ සඳහා අන්තර්ජාල පහසුකම් අවශ්‍ය වුවත් පාසල් පරිශ්‍රයේ ප්‍රමාණවත් අන්තර්ජාල පහසුකම් නොමැතිවීම සහ පැමිණ සිටි විශාල පිරිස එකවර අන්තර්ජාල පහසුකම් භාවිතා කිරීම හේතුවෙන් සංඥා දුර්වල වීමෙන් සංවිධායකයන්ට තරඟ ආරම්භ කිරීමට අපහසු වී තිබේ. දෙමාපියන් චෝදනා කරන්නේ මෙතරම් විශාල පිරිසක් සහභාගි කරගෙන සිදුකරන තරඟාවලියකදී සංවිධායකයන් මීට වඩා සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවයි.
මීට පෙරද මෙවැනි තරඟ සංවිධානය කිරීමේදී යම් යම් අඩුපාඩු පැවතුණද, අද දිනයේ එම දුර්වලතා උපරිම මට්ටමකට පැමිණ තිබූ බව දෙමාපියෝ චෝදනා කරති. තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබූ පාසල් පරිශ්‍රයේ ප්‍රමාණවත් විදුලි ආලෝකයක් නොතිබීම හේතුවෙන් තත්ත්වය තවත් බරපතල වී තිබේ.
අඳුරේ අතරමං වූ කුඩා දරුවන්
වඩාත්ම සංවේදී සහ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූයේ අවුරුදු 8න් පහළ සහ 9න් පහළ වැනි වයස් කාණ්ඩවල පසුවන කුඩා දරුවන්, තරග අවලංගු කරන බව නිවේදනය කරන තුරුම පාසලේ ඉහළ තට්ටුවක රඳවා තබා තිබීම හේතුවෙනි.
රාත්‍රී කාලයේ පවතින දැඩි අඳුර මධ්‍යයේ, ඉහළ තට්ටුවේ සිටි කුඩා දරුවන් නැවත දෙමාපියන් වෙත භාර දීමට යාමේදී පාසල් පරිශ්‍රයේ මහත් නොසන්සුන්කාරී සහ කලබලකාරී වාතාවරණයක් හටගෙන ඇත. කරුවල නිසා දෙමාපියන්ට තමන්ගේ දරුවන්ව සොයා ගැනීමට නොහැකිව අසරණ වී ඇති අතර, සංවිධායකයන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය සහ වගකීම් විරහිතභාවය පිළිබඳව දෙමාපියන් එහිදී සිය දැඩි විරෝධය පළ කර තිබේ.
නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීමට බලධාරීන් අපොහොසත් වූ අතර, මහත් බලාපොරොත්තු ඇතිව දුර බැහැර සිට පැමිණි දරුවන්ට මෙන්ම දෙමාපියන්ටද අවසානයේ දැඩි පීඩාවකට පත්වීමට සිදුවී ඇත.
ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනේ පැවැති දිස්ත්‍රික් තරගවලින් ජයග්‍රහණය කළ දරුවන් පළාත් තරග සඳහා සුදුසුකම් ලබා සිටි අතර, දින තුනක් පුරා පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට සවස 2.00 වන විටත් විශාල පිරිසක් විද්‍යාලයට පැමිණ සිටියහ. දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණි බොහෝ දෙමාපියන් රැඳී සිටීම සඳහා නවාතැන් පහසුකම් පවා වෙන් කරවාගෙන පැමිණ සිටි බව වාර්තා වේ.
අද අවලංගු වූ තරඟ වට සමග හෙට දිනයේ තරඟ වට 04ක් පැවැත්වීමට සැලසුම්කර ඇති බව සංවිධායකයින් පවසා ඇතත් එක් දිනයකදී තරඟවට 04කට සහභාගීවීම වෙහෙසකර බැවින් සමහර දරුවන් තරඟාවලියට සහභාගී නොවීමට තීරණය කර ඇති බවත් දෙමාපියෝ පවසති.
දෙමාපියන් පවසන්නේ ප්‍රවාහන පහසුකම් ද සුලභ මාතර හම්බන්තොට හෝ තංගල්ල වැනි ප්‍රදේශයක මෙම තරඟය සංවිධානය කරන ලෙස ඉල්ලීම් කළද බලධාරීන් ඒ සම්බන්දව සැලකිලිමත් නොවූ බවයි.



