පුනර්ජනනීය බලශක්ති සහ තිරසාර ජීවනෝපාය සංවර්ධන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සූර්ය බලශක්තිය සහ ජෛව වායුව (Biogas) යන දෙකෙහිම එකතුවෙන් ක්‍රියාත්මක වන දකුණු ආසියාවේ ප්‍රථම ‘සූර්ය දෙමුහුන් බේකරි පෝරණුව’ (Solar Hybrid Bakery Oven) පසුගියදා ශ්‍රී ලංකාවේදී නිල වශයෙන් එළිදක්වන ලදී.
පසුගිය මැයි 22 වනදා කොළඹ සිනමන් ලේක්සයිඩ් (Cinnamon Lakeside) හෝටලයේදී පැවැත්වුණු විශේෂ උත්සවයකදී මෙම නව්‍ය තාක්ෂණය හඳුන්වා දෙනු ලැබීය. Incitare International ආයතනය, Global Rethinking Finance Collaborative (GRFC) සහ කිලිනොච්චිය ජර්මන් ටෙක් ආයතනය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.
ෆොසිල ඉන්ධනවලට තිත – යුරෝපීය තාක්ෂණය මෙරටට
මෙතෙක් බේකරි කර්මාන්තය සඳහා බහුලව භාවිත වූ ෆොසිල ඉන්ධන වෙනුවට පරිසර හිතකාමී සහ තිරසාර බලශක්ති ප්‍රභවයන් ආදේශ කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. කාලගුණික විපර්යාස හමුවේ වුවද බාධාවකින් තොරව බේකරි නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාමට හැකිවන පරිදි සූර්ය බලය සහ ජෛව වායු පද්ධති ද්විත්වයම මෙයට බද්ධ කර ඇත. මෙමඟින් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු (SDGs) කිහිපයක්ම සපුරාලීමට දායකත්වය ලැබෙනු ඇත.
ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගේ අදහස්
මෙම අවස්ථාවට එක්වෙමින් Incitare International සහ GRFC හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී බෙරිස් ග්වින් (Beris Gwynne) මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. “මෙය හුදෙක් සංකල්පයක්ව තිබී අද වන විට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන සැබෑ තාක්ෂණයක් බවට පත්ව තිබෙනවා. මෙම දෙමුහුන් පෝරණුව දේශීය ප්‍රජාවන්ට, බේකරි හිමියන්ට සහ පරිසර සංචාරක ව්‍යාපාරයට මෙන්ම වෘත්තීය පුහුණු ආයතනවලටත් විශාල ශක්තියක්. මේ හරහා කාබන් විමෝචනය අවම කර ගැනීමටත්, ආනයන මත යැපීම අඩු කරමින් අනාගතයේදී අපනයන ඉලක්ක කරගත් නව කර්මාන්තයක් බිහිකිරීමටත් ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙනවා.”
Incitare International හි ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා ෂෙරිල් ආර්න්ඩ්ට් (Cheryl Arndt) මහත්මිය පෙන්වා දුන්නේ මෙය වසර කිහිපයක කැපවීමේ ප්‍රතිඵලයක් බවයි. “ලංකාව මේ තාක්ෂණය වැළඳගෙන විතරක් නෙවෙයි, තිරසාර ජීවනෝපායන් සහ පිරිසිදු බලශක්තිය කියන්නේ හෙටට විතරක් අයිති හීනයක් නෙවෙයි, එය අද දවසේ සැබෑවක් කරගන්න පුළුවන් බව ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙනවා,” යැයි ඇය පැවසුවාය.
බලශක්ති අර්බුදයට දේශීය තරුණ නිර්මාණශීලීත්වයෙන් විසඳුම්
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ඔලිවියර් ප්‍රාස් (Olivier Praz) මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. මෑත වසරවල ශ්‍රී ලංකාවේ සමස්ත බලශක්ති පරිභෝජනයෙන් සූර්ය බලශක්ති දායකත්වය 12%කට වඩා අඩු මට්ටමක පවතින බව පෙන්වා දුන් ඒ මහතා, මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන සැපයුම් අඩාල වීම, ගල්අඟුරු ආනයන ගැටලු සහ වැසි හිඟකම නිසා ජල විදුලි උත්පාදනය පහත වැටීම වැනි අභියෝග රැසකට ලංකාව මුහුණ දෙන බව සිහිපත් කළේය.
“දේශීය තරුණ නව නිපැයුම්කරුවන් පෙන්වා දී තිබෙනවා රටේ අනාගතය වෙනුවෙන් තිරසාර විසඳුම් හැදීමේ හැකියාව සහ කැපවීම ඔවුන් සතු බව. මෙවැනි දේශීය නවෝත්පාදනයන්ට අතදීම රටේ ආර්ථිකයට ද විශාල ජයග්‍රහණයක්,” යැයි ප්‍රාස් මහතා වැඩිදුරටත් පැවසීය.
GIZ ශ්‍රී ලංකා නියෝජිත ෆැබියෝ ජර්මානෝ (Fabio Germano) මහතා ප්‍රකාශ කළේ, මෙම තාක්ෂණය මඟින් තරුණ තරුණියන්ට, කාන්තාවන්ට සහ ග්‍රාමීය ව්‍යවසායකයින්ට ස්ථාවර ආදායම් මාර්ග උදාවන අතර, සංවර්ධන ආයතන සහ වෘත්තීය පුහුණු ආයතන අතර ඇති කරගත් සාර්ථක සහයෝගීතාවයට මෙය කදිම උදාහරණයක් බවයි.
ව්‍යාපෘතියේ පසුබිම සහ ඉදිරි පියවර
2025 මාර්තු මාසයේදී ජාතික තරුණ සේවා සභා මූලස්ථානයේදී පැවැති පාර්ශවකරුවන්ගේ සාකච්ඡාවකින් පසුව මෙම වැඩසටහන ආරම්භ විය. මේ යටතේ අවබෝධතා ගිවිසුම් තුනක් අත්සන් කෙරුණු අතර ඒවායේ අඩංගු වූයේ
ජාතික තරුණ බලකාය මඟින් සූර්ය පෝරණු දෙකක් පරිත්‍යාග කිරීම.
GIZ ශ්‍රී ලංකා ආයතනය සමඟ එක්ව දේශීය අමුද්‍රව්‍ය හා දැනුම භාවිත කරමින් අඩු පිරිවැය, උසස් තාක්ෂණික සූර්ය පෝරණුවක් මෙරටදීම නිෂ්පාදනය කිරීම.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා අඩු ආදායම්ලාභී පවුල්වල ජීවනෝපාය නංවාලීමෙ යන කරුණුයි.
මේ වන විටත් දඹුල්ල සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල මෙම පෝරණු සාර්ථකව ස්ථාපනය කර ඇති අතර, ඒවා ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා දේශීය උපදේශකයින් පුහුණු කිරීමේ වැඩසටහන් ද නිම කර ඇත.
උත්සවය අවසානයේදී, මෙම ව්‍යාපෘතිය සංකල්පයක සිට ප්‍රායෝගික තලයට ගෙන ඒමට සුවිශේෂී දායකත්වයක් දැක්වූ කිලිනොච්චිය ජර්මන් ටෙක් ආයතනයේ සහ Incitare ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් වෙත ඇගයීම් සහතික පත් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.




