30 C
Galle

තනිව ජීවත්වන වැඩිහිටියන්ගේ ආරක්ෂාව පිළිබඳ පොලිසියෙන් විශේෂ අනතුරු ඇඟවීමක්

Published:

තනිව ජීවත්වන වැඩිහිටි පුද්ගලයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පෙන්වා දෙන්නේ, වැඩිහිටි දෙමාපියන් හෝ ඥාතීන් තනිව ජීවත්වන නිවාස ඉලක්ක කරගනිමින් සිදුවන අපරාධ සහ වෙනත් අවදානම් තත්ත්වයන් සම්බන්ධයෙන් මෑත කාලයේ වැඩි වශයෙන් වාර්තා වන බවයි.

විදේශ රැකියා සඳහා පිටත්ව යාම, විදේශගතව පදිංචි වීම හෝ රට තුළ වෙනත් ප්‍රදේශවල පදිංචියට යාම හේතුවෙන් බොහෝ වැඩිහිටි පුද්ගලයන් නිවෙස්වල තනිව ජීවත් වන බවත්, එවැනි නිවාස අපරාධකරුවන්ගේ ඉලක්ක බවට පත්වීමේ අවදානම ඉහළ යමින් පවතින බවත් පොලිසිය සඳහන් කරයි.

විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් මුදල්, රන් ආභරණ සහ වටිනා භාණ්ඩ සොයා මෙවැනි නිවාසවලට ඇතුළු වන අවස්ථා වාර්තා වී ඇති අතර, එවැනි අපරාධ සමහර විට ප්‍රචණ්ඩ ක්‍රියා සහ මිනීමැරුම් දක්වා වර්ධනය වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම නිසා වැඩිහිටියන් ජීවත්වන නිවාසවල රාත්‍රී කාලයේ ප්‍රමාණවත් ආලෝකකරණය පවත්වාගෙන යාම, නොහඳුනන පුද්ගලයන්ට නිවෙස් තුළට ඇතුළුවීමට ඉඩ නොදීම සහ අසල්වාසීන් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වා ගැනීම වැනි ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස පොලිසිය උපදෙස් දී ඇත.

තවද, තනිව ජීවත්වන වැඩිහිටියන් පිළිබඳ තොරතුරු ග්‍රාම නිලධාරීන් සහ ප්‍රජා පොලිස් කමිටු වෙත දැනුම් දෙන ලෙසත්, ඔවුන්ට පහසුවෙන් භාවිත කළ හැකි ජංගම දුරකථනයක් ලබා දී හදිසි අවස්ථාවල සම්බන්ධ කරගත හැකි දුරකථන අංක ඇතුළත් කර තැබීම වැදගත් බවත් පොලිසිය පෙන්වා දෙයි.

වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා සත්කාරකයන් හෝ ගෘහ සේවකයන් යොදවා ගන්නේ නම්, ඔවුන්ගේ පසුබිම පිළිබඳ නිසි පරීක්ෂාවක් සිදු කර පොලිස් වාර්තා ලබා ගැනීමෙන් පසුව සේවයට යොදවා ගන්නා ලෙස ද පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

පවුලේ වැඩිහිටි සාමාජිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නොසැලකිලිමත් නොවන ලෙසත්, ඇතිවිය හැකි අවදානම් කල්තියා හඳුනාගෙන ඒවා වළක්වා ගැනීමට ක්‍රියා කරන ලෙසත් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට වැඩිදුරටත් දැනුම් දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!