27.6 C
Galle

හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11 දෙනෙකු මරුට

Published:

හොරණ, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” මවුපිය සෙවණ වැඩිහිටි නිවාසයේ අද (03) පස්වරුවේ හටගත් ගින්නෙන් වැඩිහිටියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මේවනවිට වාර්තා වී තිබේ.

පොලිසිය සඳහන් කළේ ගින්න හටගත් අවස්ථාවේදී එම වැඩිහිටි නිවාසයේ කාන්තා හා පුරුෂ වැඩිහිටියන් 70කට අධික පිරිසක් රැඳී සිට ඇති බව මූලික විමර්ෂණ වලින් හෙළි වී ඇති බවයි. සහන සේවා කණ්ඩායම්, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ කඩිනම් මෙහෙයුමකදී වැඩිහිටියන් 44ත් 45ත් අතර පිරිසක් ආරක්ෂිතව මුදාගෙන වෙනත් ස්ථාන වෙත යොමු කිරීමට සමත්ව තිබේ.

ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයින් අට දෙනකු පමණ ප්‍රතිකාර සඳහා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාදෙමින් සිටින බව වාර්තා වේ.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය බොහෝ දෙනා තමන් රැඳී සිටි පුටුවලම සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එම තොරතුරුවලට අනුව, ගින්න ඉතා කෙටි කාලයක් තුළ වේගයෙන් ව්‍යාප්ත වී ඇති බවට සැක පළ කෙරේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා හොරණ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, පොලිසිය, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර ඇති අතර, පැය කිහිපයක දැඩි උත්සාහයකින් අනතුරුව ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට හැකි වී තිබේ.

පොලිසිය පවසන්නේ ගින්න හටගත් අවස්ථාවේදී නිවාස පරිශ්‍රයේ තිබූ ගෑස් සිලින්ඩරයක් ද පුපුරා ගොස් ඇති බවයි. එම පිපිරීම හේතුවෙන් ගින්න තවදුරටත් වේගයෙන් පැතිර ගොස් ඇති බවට විමර්ශකයන් සැක පළ කරයි.

ගින්නෙන් පසු පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්ව සිටි බවට මුලින් වාර්තා වූ අතර, සෝදිසි මෙහෙයුම් අතරතුර එම පුද්ගලයින්ගේ සිරුරු සොයාගෙන තිබේ. මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා කටයුතු කරමින් සිටින අතර, මරණ පරීක්ෂණ පැවැත්වීමට ද නියමිතය.

ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, විදුලි කාන්දුවක්, ගෑස් ආශ්‍රිත අනතුරක් හෝ වෙනත් හේතුවක් මත මෙම ගින්න හටගත්තේද යන්න සම්බන්ධයෙන් පොලිසිය සහ ගිනි නිවීමේ නිලධාරීන් ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙරට වැඩිහිටි සත්කාරක ආයතනයක සිදුවූ දරුණුතම ගිනි අනතුරු අතරට එක්වන මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් ද දැඩි කම්පාව පළ කර ඇති අතර, වැඩිහිටි සත්කාර නිවාසවල ආරක්ෂක ප්‍රමිතීන් පිළිබඳ නැවත සමාලෝචනය කිරීමේ අවශ්‍යතාව ද මේ සමඟ යළි අවධානයට ලක්ව තිබේ.

Related articles

spot_img
error: Content is protected !!