28.2 C
Galle

සතේ කූරක සැඟවුණු මාරක රහස

Published:

ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා හි බොයොලාලි (Boyolali) ග්‍රාමීය පරිශ්‍රය සාමාන්‍යයෙන් නිහඬ, සාමකාමී පරිසරයකි. එහෙත් 2026 මැයි මස මැද භාගයේ උදා වූ ඒ මන්දාරම් සැඳෑව මුළු පළාතම හොල්ලන බිහිසුණු රහසක ආරම්භය සනිටුහන් කරනු ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත.

මැයි 18 වැනිදා සවස, 57 හැවිරිදි අමීනා තම නිවසේ පෝටිකාවට වී ගිමන් හරිමින් සිටියාය. එම අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි බෙදාහැරීම් සේවකයෙකු ඇය වෙත දිගු කළේ සුවඳ විහිදුවන කුළුබඩු මුසු “චිකන් සතේ” (Chicken Satay) පාර්සලයකි.

“කවුද මේක එව්වේ?” අමීනා ඇසුවාය.

“ඔබේ බාල දියණිය, ලුරියාන්ති පුත්‍රි තමයි ඇප් එකෙන් ඕඩර් කරලා තිබුණේ,” සේවකයා පිළිතුරු දුන්නේය.

ඇණවුම භාරගත් අමීනා වහාම පුත්‍රි වෙත දුරකථන ඇමතුමක් ගත්තාය. “පුතේ, ඔයා මට සතේ පාර්සලයක් එව්වද?”

දුරකථනයේ අනෙක් පසින් සිටි පුත්‍රි මවිතයට පත් වූවාය. “නැහැ අම්මා, මම එහෙම දෙයක් එව්වේ නැහැ. අඳුරන්නේ නැති කෙනෙක් එවපු කෑමක් නම් කන්න එපා අම්මේ!” පුත්‍රි අවධාරණය කළාය. එහෙත්, ඒ වන විටත් ප්‍රණීත සතේ කූරුවල සුවඳ මුළු නිවස පුරාම පැතිර ගොස් තිබිණි.

පසුදින උදෑසන, අමීනාගේ වැඩිමහල් දියණිය (පුත්‍රිගේ අක්කා) සුපුරුදු පරිදි මව බැලීමට නිවසට පැමිණියාය. නිවස අසාමාන්‍ය ලෙස නිශ්ශබ්ද විය. ඇය නිදන කාමරයේ දොර විවෘත කළ සැණින් දැකගත හැකි වූයේ ලේ නහර හිරිවට්ටන දසුනකි. 57 හැවිරිදි ඇගේ ආදරණීය මව මුළු කාමරය පුරාම වමනය කර, දැඩි වේදනාවකින් ඇඹරී ජීවිතක්ෂයට පත්ව සිටියාය.

මුලින් හැමෝම සිතුවේ එය සාමාන්‍ය හෘදයාබාධයක් හෝ හදිසි අසනීපයක් කියාය. දේහය කඩිනමින් භූමදානය කෙරිණි. එහෙත්, අවමංගල්‍යයෙන් පසු ගම්වැසියන් අතර කුතුහලය දනවන කතාවක් පැතිර යන්නට විය. අමීනාගේ කුකුළු කූඩුව අසල සිටි කුකුළන් කිහිපදෙනෙකු ද අභිරහස් ලෙස මියගොස් සිටිනු අසල්වැසියන් දැක තිබිණි. මවගේ මරණය ස්වභාවික එකක් නොවන බවට පවුලේ අයට සැක පහළ වූයේ එවිටය. ඔවුන් වහාම පොලීසියට පැමිණිලි කළහ.

බොයොලාලි පොලිස් අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානී ඉන්ද්‍රවන් වීර සපුත්‍රා ඇතුළු කණ්ඩායම වහාම ක්‍රියාත්මක විය. අධිකරණ නියෝගයක් මත අමීනාගේ දේහය නැවත ගොඩගනු ලැබීය.

පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තා පැමිණි විට වෛද්‍යවරුන් පවා මවිත විය. ඇගේ ප්‍රධාන ශරීර අවයව සියල්ලක්ම පාහේ දරුණු ලෙස විනාශ වී තිබූ අතර, ශරීරය පුරා අධි-විෂ සහිත රසායනික ද්‍රව්‍ය සහ මී පාසානම් අඩංගු වී තිබිණි. එය සිතාමතාම සිදුකළ සූක්ෂම මිනීමැරුමකි!

පොලිස් පරීක්ෂණ දැන් යොමු වූයේ එදින සතේ පාර්සලය රැගෙන ආ බෙදාහැරීම් සේවකයා වෙතටය. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී වැදගත් නූල් පොටක් මතු විය

“මට ඕඩර් එක ආවේ ‘පුත්‍රි’ කියන නම සහ ඇගේ පින්තූරය තියෙන එකවුන්ට් එකකින්. හැබැයි මම කෑම එක ගන්න යනකොට ආවේ පිරිමි කෙනෙක්. ඒ වගේම මම දකිනකොට සතේ කඩේ මුල් ඇසුරුම නෙවෙයි, වෙනස්ම බොක්ස් එකකට ඒ කෑම දාලා තිබුණේ,” සේවකයා පැවසීය.

ඩිජිටල් දත්ත සහ තාක්ෂණික සාක්ෂි ඔස්සේ හඹාගිය පොලීසිය අවසානයේ සැබෑ අපරාධකරු කොටුකර ගත්තේය. ඒ වෙන කවුරුත් නොව, අමීනාගේම බෑණනුවන් වූ 40 හැවිරිදි පුර්වාදි වහ්යුදි ය!

පොලිස් අත්අඩංගුවට පත් පුර්වාදි සියල්ල පාපොච්චාරණය කළේය. ඔහු දිගු කලක සිට තම නැන්දම්මා වූ අමීනා කෙරෙහි දැඩි වෛරයකින් පසුවී ඇත. ඇය තමාට නිරන්තරයෙන් අගෞරව කරන බවත්, තමා පහත් කොට සලකන බවත් ඔහු සිතුවේය.

“මම මැයි 18 වෙනිදා කුකුළු සතේ කූරු වගයක් මිලදී ගත්තා. ඊටපස්සේ මම කලින්ම ලෑස්ති කරගෙන තිබුණු මී පාසානම් ඇතුළු දරුණු විෂ රසායනික ද්‍රව්‍ය ඒවාවල තැවරුවා. මට ඕන වුණේ මේක මගේ මස්සිනාගේ (බිරිඳගේ සහෝදරියගේ) පිටින් යවන්න. ඒකයි මම පුත්‍රිගේ නම සහ පින්තූර හොරෙන් පාවිච්චි කරලා ඇප් එකෙන් කෑම එක යැව්වේ,” පුර්වාදි කීවේය.

ඔහු තම නැන්දම්මා ඝාතනය කර, එම වරද බිරිඳගේ සහෝදරිය පිට පැටවීමට ඉතා සූක්ෂම ලෙස සැලසුම් කර තිබුණද, තාක්ෂණය සහ කුකුළන්ගේ අභිරහස් මරණ ඔහුව නීතියේ රැහැනට හසුකර දුන්නේය.

පුර්වාදි වහ්යුදි මේ වන විට ප්‍රධාන සැකකරු ලෙස බන්ධනාගාරගත කර ඇත. ඉන්දුනීසියානු නීතියට අනුව මෙවැනි කලින් සැලසුම් කළ සූක්ෂම මිනීමැරුමකට (Premeditated Murder) හිමිවන අවම දඬුවම වසර 20ක සිරදඬුවමකි. නැතහොත් ඔහුට මරණ දණ්ඩනය හිමිවනු ඇත.

තමාට අගෞරව කළා යැයි සිතා, වස පොවා තම බිරිඳගේ මව ජීවිතක්ෂයට පත් කළ ඒ රුදුරු මිනිසා, අද සිපිරිගෙයක යකඩ කූරු අතර තම ඉරණම විසඳෙන තෙක් බලා සිටියි.

(BBC ඇසුරිණි)

Related articles

spot_img
error: Content is protected !!