මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර, අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්ව සිටි රංග රාජපක්ෂ මහතා අබිරහස් ලෙස මියගොස් තිබේ.
මියයන විට 45 හැවිරිදි වියේ පසු වූ ඔහුගේ මළසිරුර කුලියාපිටිය, පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ ගෙවත්තේ වැටී සිටියදී අද (30) පස්වරුවේ සොයාගෙන ඇති අතර, ඒ පිළිබඳව ඔහුගේ දියණිය විසින් මව දැනුවත් කිරීමෙන් පසු පවුලේ ඥාතීන් විසින් පොලිසියට තොරතුරු ලබා දී ඇත.
පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී ඔහු වැටී සිටි කෙසෙල් පඳුරක් අසල විශාල ලේ පැල්ලමක් තිබෙන අයුරු නිරීක්ෂණය වී ඇති අතර, මියගිය නිලධාරියාගේ අතක සහ පාදයක කැපුම් තුවාල තුනක් දක්නට ලැබී තිබේ. එමෙන්ම ඔහු වැටී සිටි ස්ථානය ආසන්නයේ තිබී කුඩා ප්‍රමාණයේ පිහියක් ද පොලිසිය භාරයට ගෙන ඇති අතර මෙය ඝාතනයක්ද, සියදිවි හානි කරගැනීමක්ද නැතහොත් අත්වැරදීමකින් පාදයේ නහරයක් කැපී යාමෙන් සිදු වූ මරණයක්ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.
අදාළ සයිබර් මංකොල්ලයට අදාළ විමර්ශන සඳහා රංග රාජපක්ෂ මහතා අවස්ථා තුනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා ප්‍රකාශ ලබාගෙන තිබූ අතර, ඔහුගේ පරිගණකය ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබුණි. හැකර්වරුන් විසින් එවන ලද පළමු ව්‍යාජ ඊමේල් පණිවුඩයට ප්‍රතිචාර දැක්වීම සහ එම බැංකු ගිණුමට මුදල් බැරකිරීමේ මූලික පියවර මෙම නිලධාරියාගේ නොසැලකිල්ල මත සිදුව ඇති බවට විමර්ශනවලදී හෙළි වී තිබූ අතර ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් ද පනවා තිබුණි.
කෙසේ වෙතත්, විමර්ශන නිලධාරීන් සඳහන් කරන්නේ ඔහු දූෂිත නිලධාරියෙකු නොවන බවට මූලිකව හෙළි වී ඇති බවත්, වැඩ තහනමට ලක්වීමෙන් පසුව ඔහු දැඩි සිත්තැවුලෙන් පසු වූ බවත්ය. මෙම නිලධාරියාගේ මරණය ඩොලර් මිලියන 2.5ක මංකොල්ලය පිළිබඳ සිදුකරන විමර්ශනවලට දැඩි බාධාවක් වනු ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පෙන්වා දෙයි.
කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය මහේස්ත්‍රාත්වරිය විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන ලද අතර, කුලියාපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.


