28.3 C
Galle

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පුළුල් විමර්ශන, සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත

Published:

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මරණයට නිශ්චිත හේතුව සොයා ගැනීම සඳහා චන්ද්‍රසේන මහතාගේ රුධිරය, මුත්‍රා, පටක, අවයව සහ නියපොතු ඇතුළු සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා ප්‍රකාශ කළේය. රසායනාගාර පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව සම්පූර්ණ පශ්චාත් මරණ වාර්තාව නිකුත් කිරීමට නියමිතය.

කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර පසුගිය 08 වනදා උදෑසන කොල්ලුපිටිය ප්‍රේදිස් පාරේ පිහිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් නිවසක කාමරයක් තුළ තිබියදී හමුවී තිබුණි. ගෙල වැළලාගෙන මියගොස් ඇතැයි මුලින් සැක කෙරුණද, මරණයේ ස්වභාවය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු තවමත් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් අරවින්ද ද සිල්වා මහතාගෙන් මෙන්ම ඔහුගේ බිරිඳගෙන් සහ එම නිවසේ සිටි තවත් කිහිපදෙනෙකුගෙන්ද කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ සටහන් කරගෙන ඇත. අරවින්ද ද සිල්වා මහතා කපිල චන්ද්‍රසේන මහතාගේ සමීප ඥාතියෙකු බවද සඳහන් වේ.

මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක්ද පත්කර තිබේ. පරීක්ෂණ කටයුතු කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයේදී සිදු කෙරිණි.

කපිල චන්ද්‍රසේන මහතා මියගොස් තිබුණේ 2013 වසරේ ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවකට අදාළව අල්ලස් ලබාගැනීමේ චෝදනා යටතේ පැවැති නඩුවක වරෙන්තුවක් නිකුත් වී තිබූ පසුබිමකය.

එම නඩුවට අදාළව දින 54ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි චන්ද්‍රසේන මහතා ඉකුත් මැයි 05 වනදා ඇප මත මුදාහැර තිබූ අතර, පසුව ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමේදී ව්‍යාජ ලෙස පුද්ගලයන් දෙදෙනකු ඉදිරිපත් කළ බවට අධිකරණයේදී කරුණු අනාවරණය වීමෙන් අනතුරුව යළි අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර තිබුණි.

එම වරෙන්තුව අනුව අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබූ දිනයේම ඔහු මියගොස් සිටීම හේතුවෙන් මෙම මරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවී තිබේ.

Related articles

error: Content is protected !!